ධාරාණිපාත වැස්සෙන් බදුල්ලට හානි රැසක් | ඇස පාදන රැස


ධාරාණිපාත වැස්සෙන් බදුල්ලට හානි රැසක්

 ඡායාරූපය:

ධාරාණිපාත වැස්සෙන් බදුල්ලට හානි රැසක්

 බදුල්ල

ගමනාගමනයට බාධා

මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව නිසා ජනතාවට මහත් හානි සිදු වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක එම්.එල්.උදය කුමාර මහතා පවසයි. ඇද හැලෙන වර්ෂාව නිසා බදුල්ල - කොළඹ, බදුල්ල - මහියංගන, බදුල්ල - මහනුවර, බදුල්ල - මොණරාගල, කුඹල්වෙල - ඇල්ල වැල්ලවාය යන ප්‍රදේශ හරහා ඇති මහා මාර්ගවලට ගල් පතිත වීම්, පස් කඳු කඩා වැටීම්, මහා මාර්ගය හරහා වැසි ජලය ගලා යෑම් නිසා ගමනාගමනයට බාධා පැමිණ ඇති බව වාර්තා වේ.

දිය ඇලි භාවිතය අනතුරු දායකයි

දුන්හිඳ, දියලුම, රාවණා, බඹරකන්ද වැනි දිය ඇළිවල ජලය බොර පාටින් යුක්ත වන අතර දියඇලි ආශ්‍රිත පිහිටි ගල්වල රොන් මඩ, සෙවල ආදියෙන් ගහන වීම නිසා දේශීය සහ විදේශීය සංචාරකයින්ට ඒ මතින් ගමන් යෑම අනතුරුදායක බවත්, ජලාශවලට ඉහළින් වෙනත් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව හේතුවෙන් ක්ෂණිකව ජල මට්ටම ඉහළ යා හැකි බැවින් දියඇළි ආශ්‍රිත ජලාශවලින් දිය නෑම නොකළ යුතු බවත් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂකවරයා පවසයි.

රිය පැදවීමේදී වෙනදාට වඩා සැලකිළිමත් වන්න

ඇල්ල වැල්ලවාය මාර්ගය පිහිටා ඇත්තේ ගල් කඳු, පස් කඳු ආශ්‍රිතව බැවින් ඒ මාර්ගයේ ගමන් කරන වාහන මතට ගල් පෙරළීමෙන් භයානක අනතුරු සිදු විය හැකි බැවින් ඉතා පරෙස්සමෙන් එම මාර්ගයේ රිය පදවන ලෙසත් හැකිතාක් දුරට රථයේ විදුලි පහන් දල්වා ගමන් කරන ලෙසත් ඇල්ල පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ. අලගියවන්න මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

පවුල් 40ක් අවතැන් කඳවුරුවලට

මේ දිනවල ඇද හැලෙන වර්ෂාව නිසා නාය යෑම් ඇති විය හැකි හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 40ක් පමණ අවතැන් කඳවුරුවල නැවැත් වීමට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇති අතර, පිසූ ආහාර ලබාදීමටද, වියළි සලාක ලබාදීමටද, කටයුතු යොදා ඇත.

නාඋල්ල ජාතික පාසලේ

ගල් බැම්ම කඩා වැටීමේ අවධානමක්

මේ අතර දෙමෝදර බ/නාඋල්ල ජාතික පාසලට ඉහළින් ඇති අඩි 20ක් පමණ උසකින් යුත් පැරණි ගල් බැම්මක් කඩා වැටීමේ දැඩි අවධානමක් පවතියි. මෙම ගල් බැම්ම කඩා වැටුණ හොත් පාසලේ පිහිටි ගොඩනැගිල්ලට බලවත් හානි සිදු වන අතර ඒ හේතුවෙන් සිසු ජීවිතවලටද හානි සිදුවීමේ දැඩි අවධානමක් පවතී.

[දෙමෝදර සෝමරත්න]

මාතෘකා