අහස නපුරුව කළ විපත

 ඡායාරූපය:

අහස නපුරුව කළ විපත

ගාල්ල

පවුල් 417කට අයත් පුද්ගලයින් 1,627 දෙනෙකු අවතැන්

ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යයි

ගාල්ල දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ පතිත වූ වර්ෂාව නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක ග්‍රාම නිලධාරී වසම් 98ක ජීවත් වන පවුල් 417කට අයත් පුද්ගලයින් 1,627 දෙනෙකු අවතැන් වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කළේය. ගිං ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ පහත් බිම් කිහිපයක්ම ජලයෙන් යටවී ඇති අතර පසුගිය පැය 48ක කාලය තුළ අවම වර්ෂාපතනයක් ලැබූ නිසා පැවති ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යන බව වාර්තා වේ.

මාපලගම, බද්දේගම මාර්ගයන්හි ජලය තවමත් පැවතියත්, එය ගමනාගමනයට බාධාවක් නොවන බව වාර්තා වේ. එසේම අවතැන් වූ පවුල් දෙකක් බද්දේගම ප්‍රදේශයේ පන්සලක නැවතී සිටින නිසා එම ස්ථානයේ සහන කඳවුරක් මේ වන විටත් ආරම්භ කර ඇත. අවතැන් වූවන් වෙනුවෙන් ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයාගේ සෘජු මැදිහත් වීමෙන් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ලේකම්වරුන් හරහා සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


රත්නපුර

රත්නපුරට තවමත් අඛණ්ඩ වර්ෂාපතනයක්

රත්නපුර දිස්ත්‍රික්කයට ඊයේ (23) දින වන විටත් අඛණ්ඩ වර්ෂාපතනයක් ලැබෙන බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. පසුගිය දින දෙකේ වර්ෂාව මඳ වශයෙන් ලැබුණත් ඊයේ උදේ සිට නැවතත් වර්ෂාව අඛණ්ඩව ලැබෙන බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව පසුගිය දින කිහිපයේ ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක ග්‍රාමනිළධාරී වසම් 189ක පවුල් 6,133කට අයත් පුද්ගලයින් 24,625ක් අවතැන් වී තිබේ. එසේ අවතැන් වූ පුද්ගලයින් වෙනුවෙන් ආරක්ෂිත කඳවුරු 32ක් ස්ථානගත කර ඇති අතර ඒ කඳවුරුවල පවුල් 174කට අයත් පුද්ගලයින් 639ක් නැවතී සිටී.

වාර්තා වන ආකාරයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් රත්නපුර දිස්ත්‍රික්කයට නිකුත් කරන ලද නායයෑමේ රතු නිවේදනය මේ වන විටත් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී වර්ෂාව තවදුරටත් ලැබුණහොත් නායයෑම් අවධානම් සහිත ස්ථාන කිහිපයක්ම පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරති. එසේම ගංවතුර නිසා රත්නපුර කොළඹ මාර්ගය යටවී ඇති අතර එහි බස් ගමනාගමනයටද බාධා පැමිණ තිබේ.


මහනුවර

මහනුවර පවුල් 286ක පුද්ගලයින් 1,288 දෙනෙකු අවතැන්

සහන සේවා කඳවුරු 7ක්

මහනුවර දිස්ත්‍රික්කයට ලැබුණු දැඩි වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5කට අයත් පවුල් 286ක පුද්ගලයින් 1,288 දෙනෙකු අවතැන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරති. එසේ අවතැන් වූ පිරිස සඳහා සහන සේවා කඳවුරු 7ක් ක්‍රියාත්මක වන අතර පවුල් 178කට අයත් පුද්ගලයින් 824 දෙනෙකු කඳවුරුගතව සිටින බව වාර්තා වේ.

එසේම පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑම් සහ දියේ ගසාගෙන යාමේ නිසා පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජලාශ්‍රවලට බැසීමේදී එහි ජල මට්ටම පිළිබඳ දැනුවත් වන ලෙසය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ගම්පොළ සහ නාවලපිටිය ප්‍රදේශයේ ඇතැම් ස්ථානවලට නායයෑමේ අනතුරු නියෝග නිකුත් කර ඇති අතර එම නිසා කඳු ආශ්‍රිත නිවාස පවතින ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස එහි ප්‍රකාශකයෙකු පැවසීය.

ආපදාව හේතුවෙන් මේ වට විට නිවාස 03කට පූර්ණ හානි සිදුවී ඇති අතර නිවාස 50කට අර්ධ හානි සිදුවී තිබේ. මේ වන විට වර්ෂාව දරුණු ලෙස නොපැවතියත් ඉදිරි දින කිහිපයේ නැවතත් මෝසම් සුළං සක්‍රීය වුවහොත් දැඩි වර්ෂාවක් මහනුවරට ලැබෙනු ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා කරති.


ගම්පහ

පවුල් 6,234කට අයත් පුද්ගලයින් 26,909 වෙනුවෙන් ආරක්ෂිත ස්ථාන 61ක්

ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ වර්ෂාව හේතුවෙන් පවුල් 7,803කට අයත් පුද්ගලයින් 33,360 දෙනෙකු අවතැන් වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේය. ඒ අනුව අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආරක්ෂිත ස්ථාන 61ක පවුල් 6,234කට අයත් පුද්ගලයින් 26,909 සිටින අතර ඔවුන් වෙනුවෙන් පිසූ ආහාර සහ වියලි ආහාර දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් මේ වන විටත් ලබාදෙමින් පවතී.

ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවන්ට අනුව ගංවතුර නිසා නිවාස 2ක් පූර්ණ හානියට ලක් වී ඇති අතර තවත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 158ක් අර්ධ හානියට ලක් වී තිබේ. මේ වන විටත් ගම්පහ දිස්ත්‍රික්කයට ගංවතුර අවදානමක් පවතින අතර කැලණිගඟේ සහ අත්තනගලු ඔයේ ඉහළ කොටසේ වතුර පහළට පැමිණෙන නිසා තවමත් බියගම, ජා ඇල සහ කටාන යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් පවතී.

බියගම යබරලුව යන ප්‍රදේශයේ අඩි 05කට වඩා වතුර පවතින නිසා ස්ථාන කිහිපයක විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. මේ වන විටත් ගම්පහ දිස්ත්‍රික්කයට දැඩි වර්ෂාවක් ලැබෙන නිසා ඉදිරියේදී ගංවතුර තත්ත්වය තවදුරටත් වැඩිවිය හැකි බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරති.


කළුතර

පවුල් 1,299කට අයත් පුද්ගලයින් 4,752ක් අවතැන්

කළුතර දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11කට අයත් ග්‍රාම නිලධාරී වසම් 127ක පවුල් 1,299කට අයත් පුද්ගලයින් 4,752ක් අවතැන් වී ඇති බව ඊයේ (23) රැස පුවත්පත කළ විමසීමකදී කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පැවසීය.

මේ වන විට කළුතර දිස්ත්‍රික්කය තුළ ආරක්ෂිත ස්ථාන 9ක පවුල් 105කට අයත් පුද්ගලයින් 468ක් රැදී සිටින අතර ඔවුන්ට අවශ්‍ය සියලු පිසූ ආහාර සහ වියලි ආහාර ලබාදීමට දිස්ත්‍රික් ලේකම්තුමාගේ මැදිහත්වීමෙන් සියලු කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතී. එසේම පසුගිය දින කිහිපයේම රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති ගංවතුර බැස යමින් පවතින නිසා බුලත්සිංහල, අඟුරුවාතොට, ඉංගිරිය, හොරණ, බණ්ඩාරගම යන ප්‍රදේශවලට නැවතත් ගංවතුර ඇති වීමේ අවධානමක් පවතී. මේ වන විට බුලත්සිංහල මෝල්කාව පාර, ඈගල්ඔය පාර, පරගොඩ යන මාර්ග ගංවතුර නිසා යටවී ඇති අතර මේ හේතුවෙන් ඒ ප්‍රදේශයන්හි ගංවතුර අවධානමක් පවතී.

කුකුලේගඟ ජලාශ්‍රයේ එක් වාන්දොරටුවක් මේ වන විටත් විවෘතව පවතින අතර ඉදිරියේදී තවදුරටත් වර්ෂාව අපේක්ෂා කරන නිසා පවතින ගංවතුර තත්ත්වයට මුහුණ දීම සඳහා යුද හමුදා නිලධාරීන් සියයට ආසන්න පිරිසක්, නාවික හමුදාවේ බලඇණි 12ක් කළුතර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබේ. බුලත්සිංහල ප්‍රදේශයේ පවතින අවධානම් තත්ත්වය නිසාම නාවික හමුදාවේ බලඇණි 05ක් ඒ ප්‍රදේශයට පමණක් යොදවා තිබේ.

[දිනුක මලින්ද හේරත්] ඡායා [ප්‍රසාද් පූර්ණිමාල්] [රවින්ද්‍ර ලියනගේ] [නන්දසිරි වැලිගමගේ] [ආර්.එම් විජේරත්න]

මාතෘකා