මොරගොඩ ඇළේ සංවර්ධන කටයුතු පමාවෙන් ගංවතුර හානි වැඩිවේ

 ඡායාරූපය:

මොරගොඩ ඇළේ සංවර්ධන කටයුතු පමාවෙන් ගංවතුර හානි වැඩිවේ

මොරගොඩ ඇළ සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කරන අදාළ කොන්ත්‍රාත්කාර සමාගම විසින් ඇළ මාර්ගය නඩත්තු නොකිරීම හා ඉදිකිරීම් නිසා වූ අවහිරතා නිසා ගංවතුර බැස යාම ප්‍රමාද වීමෙන් අපහසුතා රැසක් මතුවූ බව දංගෙදර ප්‍රදේශයේ ජනතාව පවසති.

ඇදැහැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ මොරගොඩ ඇළ පිටාර ගැලීම නිසා ඒ අවට පහත්බිම් මෙන්ම නිවාස රැසක් ජලයෙන් යටවූ අතර ඇළ මාර්ගයේ තිබූ අවහිරතා නිසා දංගෙදර සමගිවත්ත, ඩිඩිස්වත්ත හා බෙලිගහ යන ප්‍රදේශ වෙනදාට වඩා ජලයෙන් යටවූ බව එම ප්‍රදේශවල ගැමියෝ පවසති.

ගාලු නගරයේ ගංවතුර උවදුර අවම කිරීම සඳහා ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මොරගොඩ ඇළ සංවර්ධන ව්‍යාපෘතිය ඉකුත් වසරේ මැයි මස ආරම්භ කළ අතර මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉතා මන්දගාමීව සිදුවන බව ජනතාව චෝදනා කරති.

අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මාස 30කින් අවසන් කළ අතර මේ සඳහා රුපියල් මිලියන 845ක මුදලක් වෙන්කොට ඇත.

මේ පිළිබඳ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. කේ. සත්‍යානන්ද මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ පැවසීය.

“මොරගොඩ ඇළ සංවර්ධනය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කරගෙන යන අතරතුර සමහර තැන්වල බැමි බඳින විට මඩ තැන් තැන්වල ඇළ මාර්ගය තුළම හිරවෙලා තියෙනවා. එවා ඉවත් කිරිමට බැරිවෙලා තියෙනවා. උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අදාළ මොරගොඩ ඇළේ ඉදිකිරිම්වලට අමරතව එදිනෙදා නඩත්තු කටයුතු කිරිමත් කොන්ත්‍රාත් සමාගම්වල වගකීමක්. මිට කලින් ඇළ මාර්ගය නඩත්තු කටයුතු කළේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව. නමුත් ඉදිකිරීම් කාලය තුළ අදාළ කොන්ත්‍රාත් සමාගම් ඇළ මාර්ගයේ සාමාන්‍ය නඩත්තු කිරිමේ කටයුතුවලට වග කියන නිසා ඒ අය ඉවත් වුණා. මේ නිසා කුණු ඉවත් කිරිම, පාසි ඉවත් කිරිම, මඩ අයින් කිරිම නතරවුණා. කොන්ත්‍රාත් සමාගම කළේ ඉදිකිරීම් විතරයි. නඩත්තුව කළේ නැහැ. ඉදිකිරීම නිසා ඇතිවන අවහිරතා හා සාමාන්‍ය නඩත්තු කටයුතු නොකිරීම නිසා වැසි ජලය ක්ෂණිකව වතුර මුහුදට ගාලගෙන ගියේ නැහැ. ඒ නිසා තමයි වෙනදාට වඩා ඇළ අවට ප්‍රදේශය ගංවතුරෙන් යටවුණේ.”

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසුමකදී මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

"මොරගොඩ ඇළ සංවර්ධනය කිරමේ ව්‍යාපෘතිය ඉතා මන්දගාමිව තමයි සිදුවන්නේ. මෙවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ ගැන දැඩි තීන්දුවක් ගන්න වෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අපි දැනුම් දීලා තියෙනවා මෙහි ඉදිකිරිම් කඩිනම් කරන්න කියලා. මේ නිසා ජනතාව තමයි අපහසුතාවයට ලක් වෙන්නේ. "

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගාල්ල කාර්යාලයේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ දහම් ලියනගේ මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.

"ව්‍යාපෘතියේ ප්‍රගතිය අඩුයි. සියයට 13ක් පමණ තමයි කරලා තියෙන්නේ. ඒ ගැන ලෝක බැංකුවට දැනුම් දිලා තියෙනවා. තවමත් කිලෝමිටරයක පමණ තමයි ඉදිකිරිම් කරලා තියෙන්නේ .ඇළ මාර්ගයේ තියෙන ජපන් ජබර මේ වන විට මැෂින් එකක් දමලා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඇළ මාර්ගය හරියට නඩත්තුවක් වෙලා නැහැ. මේ ගැන දිගින් දිගටම කොන්ත්‍රාත්කාර සමාගම දැනුවත් කළා. නඩත්තු කටයුතු ගැන පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඇස්තමේන්තුවක් අරගෙන අදාළ කොන්ත්‍රාත් සමාගමට ඒ ඇස්තමේන්තුවට මුදල් ගෙවන්නේ නැහැ. පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂතුමාත් සමඟත් මේ ගැන කතා කළා. ඒ අයගේ ඇස්තමේන්තුවක් අරගෙන පළාත් වාරිමාර්ගයට නඩත්තු මුදල ගෙවනවා. කොන්ත්‍රාත් සමාගමට ගෙවන්නේ නැහැ."

[ලලිත් චාමින්ද]

මාතෘකා