ගාල්ල-කළුතර වැස්සෙන් 8,000ක් පීඩාවට

 ඡායාරූපය:

ගාල්ල-කළුතර වැස්සෙන් 8,000ක් පීඩාවට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ හටගත් ජල ගැලීම් හේතුවෙන් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල පුද්ගලයින් 8,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් ඊයේ (13) ‘රැස‘ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,960කට අයත් පුද්ගලයින් 7,742ක පිරිසක් පීඩාවට පත්ව ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 157කට අයත් පුද්ගලයින් 635 දෙනෙකු පීඩාවට පත් වී ඇති බවයි.

ගාල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයට පෙරේදා රාත්‍රියේ සිට ඇදහැළුණු අධික වර්ෂාවෙන් නගරයේ මාර්ග හා නිවාස රැසක් ජලයෙන් යට විය.

මොරගොඩ ඇළ පිටාර ගැලීම නිසා මොරගොඩ, සමගිවත්තගම, දංගෙදර, බෙලිගහ, තලාපිටිය යන ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය. මොරගොඩ ඇළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය නිසා තම නිවෙස් ජලයෙන් යටවන බවත්, දින කිහිපයක් පමණ ජලය රැඳී තිබෙන නිසා තමන් මහත් දුෂ්කරතාවන්ට පත්වී සිටින බවත් මොරගොඩ ඇළ ආශ්‍රිතව පදිංචි වී සිටින ජනතාව චෝදනා කරයි.

ඇළ මාර්ග සහ කාණු පද්ධති අවහිර වීම හේතුවෙන් සංඝමිත්තපුර, කොග්ගල කඩේ හන්දිය ඇතුළු තවත් ප්‍රදේශ රැසක්ද ජලයෙන් යට වී තිබිණි. සමගිවත්ත සහ මොරගොඩ ප්‍රදේශයේ ජලයට කොටු වී සිටි පිරිසක් බේරාගැනීමට නාවික හමුදා කණ්ඩායමක් යෙදවූ බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය. මේ ප්‍රදේශයට පෙරේදා (11) පෙරවරු 8.00 සිට ඊයේ (12) පෙරවරු 6.00 දක්වා

මී.මී. 166.7ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලය සඳහන් කළේය.

[දිනුක මලින්ද හේරත්] [ ෆර්හාන් නිසාම්දීන් ]

මාතෘකා