රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට තද වැසි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවකට නායාමේ අනතුරු ඇගවීම්

 ඡායාරූපය:

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට තද වැසි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවකට නායාමේ අනතුරු ඇගවීම්

මේ දිනවල සන්ධ්‍යා කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට මි.මීටර් 100 ඉක්මවූ තද වැසි හා අකුණු  ඇතිවීම හේතුවෙන් කලවාන, අයගම, කුරුවිට,ඇහැලියගොඩ, කොළොන්න, රත්නපුර පැල්මඩුල්ල හා නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය මඟින් නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසූයේ අවධානම් සහිත ප්‍රදේශෙවල ජීවත් වන ජනතාව දැඩි විමසිලිමත්ව සිටිය යුතු බවයි. මේ දිනවල හවස් වරුවේ ඇතිවන දැඩි වර්ෂාපතනය ඉදිරි දින කිහිපයේද ඇතිවීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව මගින් නිවේදනය කර ඇති බැවින්  නායයාමේ අවදානම් සහිත ප්‍රදේශවල පස් කඳු කඩාවැටීම්, ගල් පෙරලීම්, හා නාය යාම් සිදුවිය හැකි බැවින් එම ප්‍රදේශ වල ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද බොර දිය පාරවල් මතුවීම, ගස් ඇලවීම වැනි යම් අවධානමක ලක්ෂන දුටු වහා එම ස්ථානවලින් ඉවත්ව ආරක්ෂක ස්ථානයකට යාමට  පියවර ගත යුතු බවද ඇය පැවසුවාය. 
ආපදා තත්වයක් ඇතිවුවහොත් වහාම ක්‍රියාත්මක වීමට ආපදා සහන කණ්ඩායම් හා යුධ හමුදා කණ්ඩායම් සුදානම්ව ඇති බවද, ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරු හා ප්‍රාදේශිය ලේකම්වරු දැනුවත් කර ඇති බවද  දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
පෙරේදා දින දින කුරුවිට, එරත්න ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැය දෙකක පමණ කාලයක් මී.මී.100කට අධික වර්ෂාවක් පතිතවූ අතර එම ප්‍රදේශවල දොළ පාරවල් ගැලීම නිසා මාර්ගද ටික වේලාවක් වැසි ජලයෙන් යටවී තැන තැන ගස් කඩාවැටීම්ද සිදුව තිබිණි.  
මේ පිළිබඳ අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක මුදිත මංජුල මහතා පවසා සිටියේ මේ දිනෙවල සවස් වරුවේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන වර්ෂාවත් සමග නාය යාමේ අවධානම ඉහළ ගොස් ඇති බවත්, අවදාානම් ප්‍රදේශවල ජනතාව මේ වන විට දැනුවත් කර ඇති බවත්ය.  

මාතෘකා