පිය සෙනෙහස සොයා බන්ධනාගාර බසයට නැඟි දියණියක්

 ඡායාරූපය:

පිය සෙනෙහස සොයා බන්ධනාගාර බසයට නැඟි දියණියක්

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා රැගෙන ආ අවස්ථාවේ සිය දියණියද බන්ධනාගාර රථයට ගොඩවීමට උත්සාහ කළ පුවතක් කිලිනොච්චියෙන් වාර්තා වේ.  

2008 වසරේ අත්අඩංගුවට පත්ව ජීවිතාන්තය දක්වා සිරගත කරන ලද පුද්ගලයෙකු වන සචිතානන්දම් ආනන්ද සුදාකරන්ගේ බිරිඳ වන ආනන්ද සුදාකර් යෝගරානී අසනීප තත්ත්වයෙන් පසුවී පසුගිය 15 වන දා මියගොස් තිබේ.  

අවසන් කටයුතු පෙරේදා (18) කිලිනොච්චි මරුද නගර් ප්‍රදේශයේ පැවැති අතර ඒ සඳහා බන්ධනාගාරගතව සිටින මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පැය තුනක කාලයක් සඳහා ගෙනැවිත් තිබේ.  

කෙසේ වෙතත් අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ස්වාමියා නැවත බන්ධනාගාර රථයට ගොඩවන අවස්ථාවේදී ඔහුගේ දියණියද එම රථයට ගොඩවීමට උත්සහ දරා තිබෙන්නේ අවට සිටි පිරිසගේ දෑස්වලට කඳුලක්ද එක් කරමිනි.  

මෙම මියගිය කාන්තාවට දරුවන් දෙදෙනෙකු ඇති අතර මේ වන විට ඔවුන්ට මාපිය රැකවරණය අහිමි වී ගොස් තිබේ.   

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඥාතීන් ඉදිරිපත්ව සිටින බවයි. 

[මාධව කුලසූරිය]

මාතෘකා