යාපනය දැරියගේ ඝාතනය ගැන පරීක්ෂණ විධිමත් නැතැයි ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය

 ඡායාරූපය:

යාපනය දැරියගේ ඝාතනය ගැන පරීක්ෂණ විධිමත් නැතැයි ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය

යාපනය වඩුක්කොඩයි සිත්තංකේනි මන්සන්ධියේදී අද (28) උදෑසන ප්‍රදේශවාසීන් හා පාසල් දරුදැරියන් පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවත්විණි. ඒ සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ 06 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව පවසමිනි.

විරෝධතාව හේතුවෙන් මනිප්පායි පොන්නාලෙයි ප්‍රධාන මාර්ගයේ ගමන් කටයුතුවලටද බාධා එල්ල වී තිබූ අතර පසුව පොලීසියේ මැදිහත්වීමෙන් ගමනාගමන කටයුතු සාමාන්‍ය අයුරින් පැවැත්වීමට කටයුතු සලසා ඇත.

විරෝධතාවයේ යෙදුණු පිරිස මෙහිදී ප්‍රධාන කරුණු තුනකට විරෝධය පළ කළහ. දැරියගේ මරණය සම්බන්ධයෙන් මුලදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් පස් දෙනෙකු පොලිස් ඇප මත මුදාහැරීමත් පාසල් දැරියගේ මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය, ළමාරක්ෂණ අධිකාරියෙන් ඉල්ලීම්වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීමත් පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සිටින බැවින් ඔවුන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමත්ය.

06 හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා දැරියගේ මළසිරුර පසුගිය 25වනදා සුලිපුරම්හි ළිඳක තිබී සොයා ගත් අතර පසුව මරණය ගෙල සිරකොට කළ එකක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගෙන මේ වන වට රක්ෂිත බන්ධනාගාරගතකොට ඇත.

[ශේෂලා කංකානම්ගේ]

මාතෘකා