පුරුදු පාරේ යන වන අලි සහ අපි

 ඡායාරූපය:

 පුරුදු පාරේ යන වන අලි සහ අපි

විල්පත්තුව, මුලතිව්, හබරණ යන විශාල වනාන්තර තුනෙහි කේන්ද්‍රස්ථානය වන්නේ මැදචච්චියයි. සුන්දර පරිසර පද්ධතියකින් මෙන්ම ස්වාභාවික වෘක්ෂලතාවන්ගෙන් පෝෂිත මෙම ප්‍රදේශයෙහි වසර ගණනාවක සිට පැවත එන ගැටලුවක් ජනතාවගේ ජන ජීවිතයට බාධාකරමින් ඇත. නමුත් බලධාරින්ගෙන් කිසිදු විසඳුමක් නැත. තවමත් වනජීවී කාර්යාලයක් මේ ප්‍රදේශයට නොමැත. කලින් සඳහන් කළ රක්ෂිත වනාන්තර තුනෙහිම වන අලින් මාරුවෙන්නේ මැදවච්චිය හැලඹගස්වැව හරහාය. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව සිය පරම්පරාගත ඉඩම් අතහැර ඒවා වන අලින්ට බිලි දී ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇත. ගමේ ජනතාවට කරදරයක් වූ විගස පිහිට වීමට සිටිනා ස්වාමීන් වහන්සේලාද ගම අතහැර යමින් සිටිති. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අලි බහුල ප්‍රදේශයක් වන මැදවච්චිය ගමෙහි අලිවැටක් ඉදි නොකිරීම හා වනජීවීන් බහුල ප්‍රදේශයක් වුවත් එහි වනජීවී කාර්යාලයක් නොමැතිවීමයි.

මැදවච්චිය, හැලඹගස්වැව ග්‍රාමය අලි මිනිස් ගැටුමෙන් පීඩා විදින ප්‍රධාන ගම්මානයයි, ඒ එම ගම්මානය අවසානයේ අලි මංකඩ පිහිටා තිබීමයි. අද වන විට හැලඹගස්වැව ග්‍රාමයේ ජනතාවට ජීවත් විය නොහැකි තරමට වන අලි තර්ජන එල්ලවෙමින් පවතී. එයට ප්‍රධාන හේතුව වන්නේ 2013 වර්ෂයේ මහින්ද ආණ්ඩුව විසින් පූනෑව මංසන්දියේ තිබූ පූනෑව මධ්‍යමහා විද්‍යාලය අලි ඇතුන් ගමන්ගන්නා මාර්ගය හරස්කර ඉදිකර, පාසලෙහි දරුවන්ගේ ආරක්ෂාවට පාසල වටා අලි වැටක් ඉදිකිරීමයි. මේ හේතුවෙන් කාලාන්තරයක සිට වන අලින් ගමන්ගත් මාර්ගය සොයාගත නොහැකිව අලි ඇතුන් පාසල අසලින් විසීරී ගම්බිම් වෙත ඇදී යාම නිසා සවස හයෙන් පසු ප්‍රදේශයේ ජනතාව පසුදින එළවෙනතුරු බියෙන් පසුවෙයි.

2011 වර්ෂයේ ප්‍රදේශයේ පවුල් 400 ක් පමණ ජීවත් වුණත් අලි මිනිස් ගැටුම උග්‍ර වූ නිසා දැනට ඉතිරිව ඇත්තේ පවුල් 100 ක් පමණි. 2015 වර්ෂයේ හැලඹගස්වැව පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 11 දෙනෙකු පමණ වාසය කළත් මේ වනවට ඉතිරිව ඇත්තේ එක් ස්වාමීන් වහන්සේ නමක් පමණි.

“ අපේ ගැටලුව තියෙන්නෙ ගොඩක් කාලයක ඉදලා, අපි මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයාව කිපවරක් දැනුවත් කළා. ප්‍රාදේශිය ලේකම් අපිට කිව්වා වනජීවී එකෙන් අලි වැටක් පාස්වෙලා තියෙනවා ඒක හිටවන්න කණු ලබාගන්න දැව සංස්ථාවේ අවසරයක් ඕනා කියලා. වනජීවී එකෙන් ඇවිත් රැස්වීම් දෙකක් තිබ්බා එතනදී අපිට පොරොන්දු වුණා කිලෝමීටර 18 ක් දිග අලිවැටක් ගමවටා ඉදිකරදෙනවා කියලා. මාස හයක් විතර කල්ගත වුණා ගමේ මිනිස්සුන්ට අලිගහල මැරෙනවා, සමහරු ගම දාලා යනවා, ස්වාමීන් වහන්සේලා ඉන්නේ නෑ, යනවා. මේ ප්‍රශ්න නිසා දිසාපති තුමාට කිව්වා ඒත් විසඳුමක් නෑ.

වනජීවීයට ගිහින් අලිවැට ගැන අහපුවාම ඒ ගොල්ලො දැව සංස්ථාවෙන් අවසර ගන්න කියනවා, දැව සංස්ථාවෙන් කියනවා වනජීවී එකෙන් අනුමැතිය ලැබිලා නෑ කියලා. ප්‍රදේශයේ ජනතාවගේ නියෝජිතයා හැටියට මම මාස දෙකකට සැරයක් ඔය ආයතන දෙකටම යනවා. වැඩක් නෑ. හරියට බීරි අලින්ට වීනා වයනවා වගේ.

මීට සති දෙකකට කලිනුත් මිදුල අතුගගා හිටපු අවුරුදු 24 ක ගැහැණු ළමයෙකුට අලියෙක් ගැහුවා. ඒ නිසා පවුල් ගොඩක් ගම දාල ගියා” එසේ පැවසුවේ මැදවච්චිය පුරාණ විහාරස්ථානයේ දියබෙදුමේ සුමනසාර නායක ස්වාමීන් වහන්සේය.

ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනනෝපාය හේන් ගොවිතැනයි. ඒ සියල්ල එක් රැයකින් වන අලින් විනාශ කරන නිසා මොවුන්ට කිසිදු වගාවක් කරගත නොහැකිවී තිබේ. මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ ප්‍රදේශය බාර අනුරාධපුර වනජීවී සහ දැව සංස්ථාවේ නිලධාරීන් ප්‍රදේශයේ අසරණ ජනතාවගේ ඉල්ලීම් හමස්පෙට්ටියට දැමීමයි. අලිවැටක් අනිවාර්ය මේ ප්‍රදේශයට අලිවැටක් ලබානොදීමෙන් වන්නේ මිනිස් ජීවිත මෙන්ම අලි ඇතුන්ගේ ජීවිතද නැතිවීමයි. එයට හේතුව වගාවන් ආරක්ෂාව සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාල සහ පොලිසිය විසින් තුවක්තු ලබාදීමයි. ඒය ස්ථිර විසඳුමක් නොවන අතර ඒ නිසා එක් රැයක් තුළ විශාල අලි ඇතුන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීම සිදුවේ. එතරම් උග්‍රව අලි මිනිස් ගැටුම් පවතින මෙම ප්‍රදේශයේ ජනතාවට කිලෝමීටර 18ක අලිවැටක් ලබාදී ජනතාවගේ ජීවිත නඟා නොසිටුවීම ජාතික ගැටලුවකි.

“අපේ ගමට මේ වන අලින් නිසා හරිම කරදරයි. රාත්‍රිය හරිම බිහිසුණ එකක් වෙලා. සැනසීමෙන් නිදාගන්නවත් දැන් අපට බැහැ. විහාරයට නිතර නතර අලි කඩා වදිනවා. මේවට විසඳුමක් ලබාදෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. අපි හරිම දුක්බර ජීවිතයක් තමයි ගත කරන්නේ. අපිට මෙහෙම ඉදිරියට ගියොත් ගම් අතහැර දමන්නයි වෙන්නේ. රාත්‍රිය නිමා වෙන තුරු අලිත් එකක් යුද්ධ කරන්නයි අපට වෙලා තියෙන්නෙ. අපිට අලි වැටක් ලබා දෙන්න කියලයි අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ” එසේ පැවසුවේ දෙදරු මවක් වන හැලඹගස්වැව පී.හේමාවතී මහත්මියයි.

වන අලි තමන්ගේ පුරුදු පාරේ කෑම සහ ජලය සොයා සංක්‍රමණය කරති. මිනිස්සුත් එදිනෙදා ගොවිතැනක් බතක් කර ගෙන ජිවත් වෙති. දෙපාර්ශ්වය ගැටුමකට මුල නොපුරති. ඉදින් මින් උගත යුතු පාඩම වන්නේ නැණවත්ව ඉඩම් පරිහරණය තුළින් අලි මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් සොයා ගත හැකි බවය. ග්‍රාමීය ආර්ථිකය ගොඩනඟනවා යයි පුරසාරම් දොඩවන බලධාරීන්ට මැදවච්චිය හැලඹගස්වැව ග්‍රාමය නොපෙනෙන්නේ ඇයි?

[අසේල ලියනගේ]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?