මේ මැතිවරණ ක්‍රමය වාසනාවට ගෙනා එකක් - එස්.බි.

 ඡායාරූපය:

මේ මැතිවරණ ක්‍රමය වාසනාවට ගෙනා එකක් - එස්.බි.

මනාප ඡන්ද ක්‍රමය ම පවත්වාගෙන යන්න එක්සත් ජාතික පක්ෂයත් අපෙන් විපක්ෂයට ගිහින් ඉන්න ඇතැම් අයත් ලොකු උත්සාහයක් ගත්තා. නමුත් අතිගරු ජනාධිපතිතුමත් අපිත් එක ස්ථාවරයක හිටියා මේ ඡන්ද ක්‍රමය නැවත ගෙනෙන්න. මනාප ක්‍රමය තිබුණා නම් ඔබට ඔබේ  ගමේ දුකේ දී සැපේ දී ඉන්න ඔබේ ම නියෝජිතයෙක් පත්කර ගන්න ලැබෙන්නේ නැහැ. මනාප ක්‍රමය යටතේ මෙතෙක් කාලයක් සිදු වුණේ ආසනය පුරා ප්‍රකාශන බෙදලා, සල්ලි විසි කරලා විශාල විදයමක් කරලා ඡන්ද කොල්ල නොදැනෙන්න කොල්ල කාලා පැනලා යන එක. නමුත් අද ඔබට පුළුවන් ඔබේ ගමේ ඔබත් එක්ක ඉන්න, ඔබේ මළ ගෙදර දී, මඟුල් ගෙදර දී ඉන්න ඔබත් එක්ක දුක සැප බෙදා  ගන්න ඉන්න නියෝජිතයෙක් තෝරා ගන්න. ඔවුන් පැනලා යන්නේ නැහැ. ඔවුන් ගම දාලා යන්නේ නැහැ. ගමට සේවය කළොත් ඒ අය ඉදිරියට යයි. නැත්නම් ඒ අයට ගමනක් නැහැ. ඔවුන් පිරිසිදු නම් ඔවුන්ට රැඳිලා ඉන්න පුළුවන් වේවි. ඉදිරියට යන්න පුළුවන් වේවි. යනුවෙන් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2017/12/31 වැනි දින පාත හේවාහැට ආසනයේ උඩුවෙල-පල්ලේගම ඡන්ද කොට්ඨාසයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක කේ.ජී. පියරත්න මහතා වෙනුවෙන් පැවති රැස්වීමක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ඒවගේ ම මනාප ක්‍රමය නිසා රට පුරාම ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය විදියට ජනතාව බෙදුණා. ඒ තුළ රටේ දැවෙන ගැටලු මතු වුණා. අවුරුදු 48කට පසුව අපට නැවත මේ ක්‍රමය ලැබීම රටේ ම වාසනාවක්. ඒ මනාප ක්‍රමය අපිව අන්ත කුලවාදයට, අන්ත ආගම්වාදයට, අන්ත ජාතිවාදයට තල්ලු කළා. ඒ තුළින් ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී දේශපාලනය කරන අය වාසි ගත්තා. බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලයි මේ පොට්ටු පක්ෂය හැදුවේ. ඔවුන්ගේ 2025 ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ඊට අවශ්‍ය දේශපාලන පසුබිම රටතුළ නිර්මාණයකර ගැනීම වෙනුවෙන් කටයුතු කරනවා. අපේ පක්ෂයේ අපිත් එක්ක අමනාප වෙලා ඉන්න අපේ ම පක්ෂයේ මිත්‍රයන් පක්ෂයට ගන්න අපි පුළුවන් තරම් උත්සාහ කළා. නිමල් ඇමතිතුමා, සුසිල් ඇමතිතුමා, ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමා, අනුර ඇමතිතුමා නිතර ම කථා කළා. නමුත් අපේ කීපදෙනෙකුට අවශ්‍ය වෙලා තියනවා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවලා 2025 දී තමන්ගේ න්‍යාය පත්‍ර ඉටු කරවා ගන්නට.

ප්‍රතිපත්ති ඇතිව හැමදාමත් අපිත් එක්ක හිටපු ඡන්දයෙන් දිනලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගෙනාපු කොමියුනිස්ට් පක්ෂය, මන්ත්‍රීවරු වැඩි පිරිසක් අපිට ගෙනාපු තොණ්ඩමන් ඇමතිතුමාගේ වතු කම්කරු කොන්ග්‍රසය අපිත් එක්ක ඉන්නවා. මහජන එක්සත් පෙරමුණේ 50%ක් අපිත් එක්ක ඉන්නවා. මෑතක දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතාත් අපට එකතු වුණා. විමල් මන්ත්‍රීතුමාගේ පක්ෂයේ එතුමා ඇරෙන්න මහලේකම්, නියෝජ්‍ය නායක ඇතුළු සියලු දෙනා ආවා. එතුමාගේ මහනුවර සංවිධායක නිමල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමත් අපිත් එක්ක එකතු වුණා. ඒ අතර නැගෙනහිරින් හිස්බුල්ලා, අතාවුල්ලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ඡන්දයට යනනේ ශක්තිමත්ව. ඒ නිසා ජයග්‍රහණය පිළිබඳ එතරම් ගැටලුවක් අපිට ඇතිවෙන්නේ නැහැ.

පක්ෂය ගත්තොත් පකකක්ෂයේ සියලු ම ජ්‍යෙෂ්ඨයෝ අපිත් එක්ක ඉන්නවා. මහලේකම් ධූරය අහිමි කරලත් අනුර යාපා ඇමතිතුමා පක්ෂයෙන් ගියේ නැහැ. තනතුර අහිමි කරලත් සුසිල් අමැතිතුමා පක්ෂය දාලා ගියේ නැහැ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු වන දි.මු.ජයරත්න මැතිතුමා, නිමල් සිරිපාල මැතිතුමා, ජෝන් සෙනෙවිරත්න මැතිතුමා පක්ෂයෙන් ගියේ නැහැ. ඔවුන් පක්ෂයේ ශක්තියට අදත් ඉන්නවා. දැන් ඒ පැත්තේ ඉන්නේ කවුද? එදා 1994 ආණ්ඩුව හදන කොට පක්ෂයේ ඇමතිකමක්වත් නොලබපු අය නේද? එදා ඇමතිවරු වුණේ මමයි මංගල සමරවීර ඇමතිතුමයි. එදා අමැතිවරු වුණු එක් අයෙක්වත් අද එතැන නැහැ.

මේ හේවාහැට ආසනය ගැන කථා කළොත් මේ ආසනයට අවුරුදු ගණනාවකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් ආසන සංවිධායක වෙලා හිටියේ නැහැ. ඒ නිසා මේ ආසනයේ සංවර්ධන වැඩකටයුතු රැසක් ම ඉතිරි වෙලා තියනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන්නේ තමන්ගේ ආසනය වෙනුවෙන් ලක්ෂ 100ක මුදලක්. නමුත් මේ වනවිට ලක්ෂ 9700ක මුදලක් මේ ආසනයේ සංවර්ධනය වෙනුවෙන් මට වෙන්කරන්නට හැකියාව ලැබිලා තිබෙනවා. නමුත් එයින් තුන් ගුණයක්වත් තවත් අවශ්‍යයි මේ ආසනය සංවර්ධනය කරන්නට. යූඑන්පියත්, පොට්ටු පක්ෂයත් දෙගොල්ලො ම දන්නවා මේ ඡන්දය සන්ධානය දිනනවා කියලා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාවේ උඩුවෙල පල්ලේගම කොට්ටාසයේ දීර්ඝ කාලීන එ.ජා.ප පාක්ෂිකයෝ රැසක් අමාත්‍යවරයා අතින් ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගත්හ.