කොරොනා අවදානම:

 ඡායාරූපය:

කොරොනා අවදානම:

චීනයේ සිටින ලාංකික සිසුන් ගෙන්වයි

කොරොනා වෛරසය මේ වන විට පැතිර යමින් තිබෙන චීනයේ වූහාන් සහ සිචුආන් ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම යළි ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ සම්බන්ධයෙන් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කර ඇත.

මගීන් වැඩි සංඛ්‍යාවක් ගෙන යා හැකි ගුවන් යානා කිහිපයක් යොදවමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇති අතර වූහාන් ප්‍රාන්තයට පිවිසීම හා ඉන් පිටවීමට චීන බලධාරීන් පනවා ඇති තහනම ඉවත් කළ වහාම ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමේ සියලු විධිවිධාන සලසා තිබේ.

සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 150කට ආසන්න පිරිසක් දින දෙකක් තුළදී මෙරටට ගෙන්වා ගැනීමට ඊයේ (26) සිට පියවර ගෙන ඇති බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය. චීනයේ නැනින්හි සිටින තවත් සිසුන් 30 දෙනකු ඇතුළු විවිධ ප්‍රදේශවල අධ්‍යාපනය ලබන සිසුන් 790 දෙනකු පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබී ඇති අතර ඔවුන්ද ගෙන්වා ගැනීමට කඩිනම් සැලසුම් යොදා තිබෙන බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය අවධාරණය කළේය.

බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සන්නිවේදනය 'වී චැට්' භාවිතයෙන් සිදු කෙරෙන අතර චීනයේ සිට ශ්‍රී ලංකාවට එන සියලු දෙනා ගුවන්තොටුපොළේ සිට නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති උපදෙස් පරිදි කටුනායක ගුවන්තොටුපළේ කොරොනා පරීක්ෂා කිරීමේ කටයුතු පුළුල් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මේ සඳහා යොදා ඇති කාර්ය මණ්ඩලය වැඩි කිරීමටත් පියවර ගෙන ඇති අතර කටුනායක ගුවන්තොටුපළේ කොරොනා රෝගීන් හඳුනා ගැනීම සඳහා තර්මෝ ස්කෑන් යන්ත්‍ර 04ක් ස්ථාපනය කර ඇති බවත් සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

යම් අයකු උණ රෝග තත්ත්වයෙන් පෙළෙන බවට හඳුනා ගතහොත් රෝගීන් අයිඩීඑච් රෝහලට යොමු කර ඔවුන්ගේ රුධිර සහ මුත්‍රා සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කරනු ඇති අතර ප්‍රතිකාර සඳහා යම් හෙයකින් වෛද්‍ය උපකරණ හෝ රසායනික ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගුවන් මඟින් ගෙන්වා ගැනීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් දුන් බවත් වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

කොරොනා වෛරසය මෙරටට පැමිණීම වළක්වන්න සියලු කටයුතු යොදා තිබෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කළ අතර කොරොනා වෛරස් අවදානම් තත්ත්වයෙන් ආරක්ෂා වීමට ශ්‍රී ලංකාව වහා ක්‍රියාමාර්ග ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ශ්‍රීලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින කියා සිටියේ මෙම කොරොනා වෛරසයෙන් ගුවන් මගීන්ට සහ ගුවන් කාර්ය මණ්ඩලයට ඇතිවිය හැකි ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති බවයි.

[ශිවන්ති ප්‍රනාන්දු]

News Order: 
1
මාතෘකා