සංචාරක කර්මාන්තය දියුණු කරන්න

 ඡායාරූපය:

සංචාරක කර්මාන්තය දියුණු කරන්න

ජනපතිගෙන් යෝජනා මාලාවක්

2025 වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපැයීම අරමුණින් වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායක කරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (13) පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

සංචාරක කර්මාන්තයේ හඳුනාගත් ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු තීරණ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එහිදී මෙරටට පැමිණෙන සංචාරකයන්ට සැපයෙන පහසුකම් වැඩිදියුණු කළ යුතු බව ජනාධිපතිවරයා පවසා ඇත. ගුවන් තොටුපොළේ සිටම පහසුකම් විධිමත් විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථාන වැඩිදියුණු කිරීමේ සහ එම ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබාදීමේ පුළුල් ප්‍රචාරණ යාන්ත්‍රණයක අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

දේශීය ආයුර්වේද ක්‍රම මෙන්ම සංචාරකයන්ගේ දැඩි ප්‍රසාදයට ලක්ව ඇති මුහුදු රළ ක්‍රීඩා, ශ්‍රී ලාංකීය තේ ඇතුළු ශ්‍රී ලංකාවට සුවිශේෂ සහ අනන්‍ය වූ සංචාරක ආකර්ෂණය දිනා ගත් ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නේය. සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් වෙළෙඳ සංකීර්ණ පවත්වාගෙන යා යුතු බවත් සංචාරකයන් ගෙන්වා ගැනීම පිළිබඳවද විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවක් පවතින බවත් පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකිය ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ සංචාරයට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව දැනුවත් කිරීමට තානාපතිවරුන් මඟින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා එහිදී සංචාරක මණ්ඩලයට උපදෙස් දුන්නේය.

සෘජු ගුවන් සේවා ස්ථාපනය කිරීමෙන් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගත හැකි බැවින් යුරෝපා රටවල් ඉලක්ක කොට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය. එසේම සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ උපාධි හදාරන සිසුන්ට හෝටල් පාසලේ පුහුණුවක් දීමෙන් හෝටල් කළමනාකරුවන් බිහිකිරිමේ හැකියාවද සාකච්ඡාවට ගැනිණ. එමෙන්ම සංචාරක පොලිසිය යළි ක්‍රියාත්මක කිරීමට සහ ක්ෂේත්‍රයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටද තීරණය කෙරිණි.

[දිනුක මලින්ද හේරත්]

News Order: 
3
මාතෘකා