උපාධිධාරීන් 50,000කට මාර්තුවේ රැකියා

 ඡායාරූපය:

උපාධිධාරීන් 50,000කට මාර්තුවේ රැකියා

- ඇමති ඩලස් අලහප්පෙරුම

මාර්තු මස 01 වැනිදා වන විට මෙරට සිටින සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට එනම් 50,000ක පිරිසක් සඳහා රැකියා ලබා දෙන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 2012 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමට තීරණයක් ගත් නමුත් පසුගිය ආණ්ඩුව විසින් උපාධිධාරීන්ට ඉතා කුඩා කණ්ඩායමකට සංවර්ධන නිලධාරින් ලෙස පත්වීම් ලබා දුන් බව අමාත්‍යවරයා පැවසීය. එසේම මෙවර අභ්‍යන්තර සහ බාහිර යන කිසිදු භේදයකින් තොරව රැකියා ලබා දෙන බවත් දැනට ඇති සංඛ්‍යා ලේඛන අනුව එම පිරිස 50,000 කට අධික බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී පසුගිය රජය සිදුකළ ආකාරයට උපාධිය අභ්‍යන්තරද, බාහිරද, වයස අවුරුදු 35ට අඩුද, වැඩිද, දේශපාලනය කුමක්ද යනාදී බේද කිසිවක් සැලකිල්ලට නොගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය. එසේම රැකියා සඳහා බඳවා ගැනෙන මෙම උපාධිධාරීන් සියලුදෙනා මේ රටේ උගත් බුද්ධිමත් දරුවන් බව පවසන ඇමැතිවරයා, ඔවුන් රැකියා සඳහා බඳවාගැනීමෙන් පසු හයමසක පුහුණුවකට යොමු කරන බවත් කියා සිටියේය. මෙම උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීළඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ඇති බවත් විශේෂයෙන්ම ගණිතය, විද්‍යාව, තාක්ෂණය, විදේශ භාෂා හා සෞන්දර්යය වැනි විෂයයන් උපාධියට හදාරා ඇති රැකියා විරහිත උපාධිධාරීන් සියලුදෙනා ගුරුවරුන් ලෙස පාසල්වලට බඳවා ගැනීමට කටයුතු කරන බවත් එම විෂයයන් සඳහා විශාල ගුරු හිඟයක් පවතින බවද ඇමැතිවරයා සඳහන් කළේය.

News Order: 
1
මාතෘකා