නිදහසින් පසු වැඩිම අලි මරණ 2019දී

 ඡායාරූපය:

නිදහසින් පසු වැඩිම අලි මරණ 2019දී

බීබීසී සේවය වාර්තා කරයි

2019 වසරේදී ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 361 දෙනෙකු මියගොස් ඇති බව

ශ්‍රී ලංකාවේ පරිසර සංවිධාන උපුටා දක්වමින් බීබීසී ලෝක සේවය වාර්තා කරයි. 1948දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු වාර්තා වූ වැඩිම අලි මරණ සංඛ්‍යාව 2019 වසරේදී සිදුව ඇති බවට සත්ව සංරක්ෂණවේදීන් ප්‍රකාශ කර ඇති අතර බොහොමයක් අලි ඇතුන් මිනිසුන් විසින් මරා දමන ලද බව එම වාර්තාවේ සඳහන් වේ.

අලි ඇතුන් ඝාතනය කිරීම ශ්‍රී ලංකාවේ නීති විරෝධී නමුත් මෙම සතුන් බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශවලට පැමිණීමත් සමඟ ගම්වාසීන් සමඟ ගැටෙන බවත් අලින් ශ්‍රී ලංකාවේ ගෞරවයට පාත්‍ර වන නමුත් සමහර ගොවීන් ඔවුන් සතුරන් ලෙස සලකන බවත් එම වාර්තාවේ සඳහන්ය.

පසුගිය වසරේ අලි මරණවලින් සියයට 85ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වී ඇති බව පරිසර සංරක්ෂණ භාරයේ පරිසරවේදියෙකු වන සජීව චාමිකර මහතා උපුටා දක්වමින් බීබීසී ලෝක සේවය වාර්තා කළේය. මෙම සතුන් මැරීම සඳහා සමහරුන් විසින් අනවසර විදුලි වැටවල්, ආහාරවලට වස හා පුපුරණ ද්‍රව්‍ය යොදාගැනීම සිදු කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. තවද අලි හුවමාරු වන ස්ථානවලදී දුම්රියේ ගැටීමෙන් සහ ස්වාභාවික හේතුන් මතද අලින් මියගොස් ඇත.

එම වාර්තාවේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ වන අලි 7,500ක් සිටින බවට අනුමාන කරන නමුත් සංචාරකයින්ගෙන් ආදායම් උපයා ගැනීම සඳහා අලින් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ වහල්භාවයේ තබා ඇති බවත් අනෙක් අලින් දේශීය උත්සව සඳහා යොදාගන්නා බවත් සඳහන්ය.

[ෆර්හාන් නිසාම්දින්]

News Order: 
2
මාතෘකා