හිතන හිතන විදියට වැඩ කරන්න මේවා පුද්ගලික දේපොළ නෙවෙයි

 ඡායාරූපය:

හිතන හිතන විදියට වැඩ කරන්න මේවා පුද්ගලික දේපොළ නෙවෙයි

NPP ජනපති අපේක්ෂක - අනුර කුමාර දිසානායක

 

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ 02ක දීමනාවක් ලබා දීම සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ අමාත්‍යාංශයෙන් කොටසක් වෙන් කොට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා (19) රත්නපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා මෙසේද කියා සිටියේය.

"දැන් යළි ජනතාවට අවස්ථාවක් උදා වෙලා තියෙනවා අලුත් පාලනයක් හදා ගන්න. දැන් ජනතාව හමුවේ තෝරා ගැනීම් දෙකක් තිබෙනවා. එකක් වසර 71ක් පුරාවටම මේ රට ඇදගෙන ගියපු විනාශකාරීත්වයේ මාවතටම යළි අපේ රටත් අපේ රටේ ජනතාවත් යොමු කරනවාද? එහෙම නැතුව ඒ විනාශකාරී මාවතෙන් මිදී නව මාවතකට අපේ රට කැඳවාගෙන යනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. අපි අද තමුන්නාන්සේලා හමුවෙන්න රත්නපුරයට ආවේ, 71 අවුරුද්දක් මේ අනුගමනය කරමින් තිබෙන සමාජ, ආර්ථික ප්‍රතිපත්තියෙන් මිදී මේ විනාශකාරී මාවතෙන් ගැලවිලා නව මාවතකට අපේ රට යොමු කිරීමේ අවස්ථාව හැටියට මේ ජනාධිපතිවරණය යොදා ගන්න කියා ජනතාවට ආරාධනා කරන්නයි.

පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ 02ක දීමනාවක් දෙන්න යෝජනාවක්. එක පාර්ශ්වයක ඉන්නවා කිරිඇල්ල. ප්‍රතිපාර්ශ්වයේ ඉන්නවා කබීර් හෂීම්. ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා දැනුම් දීලා තිබෙනවා කබීර්ගේ අමාත්‍යාංශයෙන් කෑල්ලක් කඩලා කිරිඇල්ලට දෙන්න කියලා. එයාගේ පෞද්ගලික දේපළද මේවා එහෙම කරන්න? මොකද්ද මේ රටකට කරන්න හදන්නේ?

අනෙක් පාර්ශ්වයෙන් බැලුවොත් ඔබ දන්නවා ජනාධිපති අපේක්ෂකයා හැටියට තෝරා ගත්තේ කවුද කියලා. තමන්ගේ සොහොයුරාවයි තෝරා ගත්තේ. ඔහු ප්‍රාදේශීය සභාවක හෝ පළාත් සභාවක හෝ පාර්ලිමේන්තුවක හෝ කිසිදු සභාවක් නියෝජනය නොකරපු කෙනෙක්. අවුරුදු ගණනාවක් ලංකාවේ නොහිටපු කෙනෙක්. අයියා ජනාධිපති වුණාට පසුව ලංකාවට ආපු කෙනෙක්. හැබැයි ඔහු ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙන්නේ කුමක් නිසාද? තමන්ගේ පවුලේ ඉදිරි දේශපාලන බල ව්‍යාප්තිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. එහෙම නැතුව ඒ කඳවුරුවල වුණත් දීර්ඝ කාලයක් දේශපාලනය කරපු දේශපාලන අත්දැකීම් තිබෙන කණ්ඩායම් ඉන්නවා. හැබැයි ඒ වෙනුවට මෙයා ප්‍රමුඛ වෙන්නේ කුමක් නිසාද? ඒ අන් කවරක්වත් නිසා නෙවෙයි තමන්ගේ සොහොයුරා වන නිසා. ඒ නිසා වැඩි ඈතකට යන්න ඕනෑ නැහැ. මේ ජනාධිපතිවරණයේදී මේ අපේක්ෂකයන් පිළිබඳ පොරය හොයලා බැලුවත් ඇති මේ කඳවුරු අපේ රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු කඳවුරු කියලා තේරුම් ගන්න. ඒ නිසා ජාතික ජනබලවේගයේ අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. කුමක් වෙනුවෙන්ද? මේ රට හදන්න. අපි මේ රටේ ජනතාවටත් ඔබටත් සහතිකයක් දෙනවා අපි මේ රට හදනවා කියා.

අපේ රටට මේ විනාශය ගෙනත් තිබෙන්නේ මේ දේශපාලනය. අපි කැමති වුණත් අකමැති වුණත් මේ රට ගොඩනඟන්න තිබෙන්නේ දේශපාලනය. මේ රට විනාශයට ගෙනිච්චෙත් මේ දේශපාලනය නම් උත්තරේ තිබෙන්නෙත් දේශපාලනයේ. ඒක කවර දේශපාලනයක්ද? ඒකෙ තමයි වැදගත්කම තිබෙන්නේ. ඒක නිසා මේ රට ගොඩනඟනවා නම් පළමු කොටම අපේ රටේ මේ කැත, ඉහඳ ගහන පිළුණු වූ දේශපාලන පොරපිටිය පිරිසුදු කරන්න ඕනේ. මේක කැත තැනක්. අද අපේ රටේ දේශපාලනය අතිශය ලාබ ලබන ව්‍යාපාරයක්. මේක ව්‍යාපාරයක්. අපේ රටේ මහා පරිමාණ වංචා, දූෂණ සිද්ධ වෙන්නේ දේශපාලනය ඇතුළේ. අපේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන්නේ දේශපාලනය ඇතුළේ. අපේ රටේ සිදු වෙන නීති විරෝධී ක්‍රියාදාමය පිටිපස්සේ ඉන්නේ දේශපාලකයා. ඒ නිසා අපේ රට ගොඩනැඟීමේ පළමු පියවර ලෙස මේ දේශපාලනය පිරිසුදු දේශපාලනයක් බවට පරිවර්තනය කරන්න අවශ්‍යයි.

දේශපාලනය ව්‍යාපාරයක් වෙනුවට මෙය මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. අපි මේ දේශපාලනයේ දීර්ඝ කාලයක් සිටියා. මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක් පෞද්ගලිකව මම ඉඳලා තියෙනවා. හැබැයි අපි මේ දේශපාලනයෙන් සතයක් හම්බ කරපු මිනිස්සු නෙවෙයි. මේ දේශපාලනයෙන් දූෂිත භාවයේ, නාස්තියේ ගොදුරු බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ දූෂිත, නාස්තියේ ගොදුරක් බවට පත් වී තිබෙන දේශපාලනය පිරිසුදු කරන්න ඕනෑ. අපි ඒවා කරලා තිබෙනවා. මොකද මේ රට හදන්න ඕන එතැනින්. මුදුනෙන් පටන් ගන්න ඕනෑ.

 

මේ රාජ්‍ය ගොඩනඟන්න පුළුවන් රාජ්‍යයක්. ඒ සඳහා අපි එකතු වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නෙ. මේක ඉතාමත් හොඳ මැතිවරණයක්. අපේ රටේ පාලන බලය වෙනස් කිරීමේ මැතිවරණයක් අපි අභිමුවට ඇවිත් තියෙනවා. ඒ සඳහා අනෙක් කඳවුරු විවිධ අර්බුධවල, ගැටුම්වල ප්‍රතිවිරෝධතාවලින් ගහණය වී තිබෙනවා. අපි එකට එකතු වී ශක්තිමත්ව මෙම මැතිවරණය සඳහා මුහුණ දෙන්න සැලසුම් කර තිබෙනවා. මෙය ජයග්‍රහණය කරන්න ඕනෑ. හැබැයි මෙය ජයග්‍රහණය කළ හැක්කේ කෙසේද? මේක ජයග්‍රහණය කරන්න බැහැ. ගමේ අනෙකාට කතා කරන්නෙ නැත්නම් ඒ නිසා මෙතෙන්ට එක්රැස් වී සිටින ඔබගේ කාර්යභාරය තමයි මේ මාස දෙකකට අඩු කාලයේ අපි හැම දෙනාටම පුළුවන් නම් ගම ඇතුළෙ අනෙක් පාක්ෂිකයන් එකතු කරන්න. අනෙක් පාක්ෂිකයන් එක්ක සංවාදයේ යෙදෙන්න. හැම දෙනාම එකතු කරල ගමේ විශාල බලයක් නිර්මාණය කරන්න. සහතික වශයෙන් මේක ජයග්‍රහණයෙන් කෙළවර කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු. මැදිහත් වෙමු. පෙරට එමු කියා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තූතියි හැම දෙනාටම. ජයවේවා කියා ප්‍රාර්ථනා කරනවා."

මාතෘකා