කුලුන සුන්දරයි අභියෝග බරපතළයි

 ඡායාරූපය:

කුලුන සුන්දරයි අභියෝග බරපතළයි

ගිවිසුම අත්සන් කළේ 2012 ගිවිසුම්ගත චීන ආයතනයක් ආ ගිය අතක් නැහැ

චීනෙත් නැති ආයතනයකට රජය බිලියන දෙකක් ගෙවලා

බිලියන 12කට ණය වාරිකය වසරකට කෝටි 240ක් ගෙවලා

එවැනි වාරික තව වසර 10ක් ගෙවන්න වෙලා

වැඩ අවසන් කරන්න තව කෝටි 300ක් ඕනෑ

නෙලුම් කුලුන විවෘත කරමින් ජනපති කියයි

කොළඹ නෙළුම් කුලුන ජනතා අයිතියට පවරා දෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් බවත් 2012 වසරේ පැවති රජය ඒ සඳහා පාර්ශ්ව 03ක් සමඟ ගිවිසුම් ඇති කරගත් බවත් ඉන් එක් පාර්ශ්වයක් වන ALIT සමාගම රුපියල් බිලියන 2ක මුදලක්ද රැගෙන අතුරුදන් වූ බවත් ඊයේ (16) නෙළුම් කුලුන විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබාදීමට චීනයේ EXIM බැංකුව එකඟ වී තිබිණි. එම එකඟත්වයට අදාළව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012 ජනවාරි මස 03 වැනි දින චීනයේ CEIEC හා ALIT යන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇති කර ගැනිණි.

මේ සම්බන්ධයෙන් 2015 වසරේදී කරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එම පාර්ශ්ව අතුරින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට දැනුම් දී ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් ඒ නමින් කිසිදු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැර රටකින් සොයා ගැනීමට නොහැකි වී තිබේ. එකී සමාගමට අදාළ ගිවිසුමේ අන්තර්ගත ලිපිනයද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි වී තිබේ.

මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන්ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදු වූ දෙයක් පිළිබඳවද කිසිදු වාර්තාවක සඳහන් නොවන බව ජනාධිපතිවරයා පැවසීය. ඒ අනුව 2017 නොවැම්බර් මාසයේදී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබාදෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 19ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමා වී තිබේ. එහෙත් ඒ වන විටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයකම ණය වාරිකය ලෙස රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී. 2018 වසරට අදාළවද ශ්‍රී ලංකාව එකී ණය වාරිකය වන රුපියල් කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයෙන්ම වාර්ෂිකව ගෙවීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එමෙන්ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය ලෙස රුපියල් කෝටි 120ක මුදලක් මේ වන විටත් ගෙවා තිබේ.

මෙවැනි පසුබිමක නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රුපියල් බිලියන 04ක දායකත්වයක් දරමින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට දායකත්වය ලබාදී ඇති බව ජනාධිපතිවරයා පැවසීය. මේ නෙළුම් කුලුන පරිත්‍යාගයක් නොවන බවත් එය ණය මුදලක් බවත් එය සම්පූර්ණයෙන්ම ජනතාවගේ මුදල් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේය. එසේම මෙහි ඉතිරි වැඩ කටයුතු අවසන් කිරීමට රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් අවශ්‍ය බවත් මෙය රටේ සෙසු සංවර්ධන කටයුතු සඳහා වියදම් කළ යුතු මුදල් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

[දිනුක මලින්ද හේරත්] [නිර්මාණි බණ්ඩාරනායක]