ජාතික ඕසෝන් දින සැමරුම් උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

 ඡායාරූපය:

ජාතික ඕසෝන් දින සැමරුම් උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.

අදට යෙදී ඇති ජාත්‍යන්තර ඕසෝන් දිනය හා මොන්ට්‍රියෙල් සන්ධානයේ 32 වන සංවත්සරයට සමගාමීව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සැමරුම් උලෙළ සංවිධානය කර තිබිණි. මේ හා සමගාමීව ඉදිරිපත් කෙරුණු වායු දූෂණය’ පිළිබඳ පෝස්ටර් නිර්මාණ ප්‍රදර්ශනය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය. මෙම උත්සවයේ විද්වත් දේශනය මොන්ට්‍රියල් සන්ධානයට සිදු කරන ලද කිගාලි සංශෝධනය සහ දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා එයින් ලබාදෙන දායකත්වය’ යන මැයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාව මොන්ට්‍රියල් සන්ධානයේ පාර්ශ්වකරුවකු වීමේ 30 වන සංවත්සරය සනිටුහන් කරමින් සමරු මුද්දර කවරයක් නිකුත් කිරීමද සිදු කෙරිණි. වායු දූෂණය අවම කිරීම’ තේමා කර ගනිමින් පාසල් දරුවන් අතර පැවති තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පත් පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු විය. විශ්වවිද්‍යාල හා තාක්ෂණික විද්‍යාල වෙත පරිසර හිතකාමී උපකරණ ප්‍රදානය සහ රේගු බලාත්මක නිලධාරින් සඳහා ගෝලීය මොන්ට්‍රියල් සන්ධාන සම්මාන ප්‍රදානයද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මොන්ට්‍රියල් සන්ධානයේ සියලු පාර්ශ්වකාරී රාජ්‍යයන් විසින් සෑම වසරකම සැප්තැම්බර් 16 වැනිදා ජගත් ඕසෝන් දිනය වශයෙන් සමරනු ලබන අතර ශ්‍රී ලංකාවද එම සන්ධානයේ පාර්ශ්වකරුවෙකු ලෙස නොකඩවාම එම වැදගත් දිනය සැමරීම සිදු කරනු ලබයි. ඕසෝන් වියන සුරැකීමේදී ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සංවර්ධිත රටවලට ඉදිරියෙන් සිටින අතර ඕසෝන් වියනට හානිකර වායු නිකුත් කරන උපාංග භාවිතයෙන් ඉවත් කිරීමේදී ඉතා ඉදිරියෙන් සිටින රටක් ලෙසද සැලකේ. මොන්ට්‍රියල් සම්මුතියට අනුව ඕසෝන් වියනට අහිතකර භාවිතයන්ගෙන් ශ්‍රී ලංකාව 2020 වන විට සියයට 35කින්ද, 2025 වන විට සියයට 67.5කින්ද, 2030 වන විට සියයට 100කින්ද ඉවත්වීමට ගිවිස ගෙන ඇත.