ජොන්ස්ටන්ට එරෙහිව ඇති සතොස නඩුව ඔක්තෝබර් 04 වැනිදා කැඳවයි

 ඡායාරූපය:

ජොන්ස්ටන්ට එරෙහිව ඇති සතොස නඩුව ඔක්තෝබර් 04 වැනිදා කැඳවයි

පසුගිය රජය සමයේ සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙක් නිල රාජකාරියෙන් බැහැරව දේශපාලන කටයුතුවලට යොදවා ගැනීමට එරෙහිව අල්ලස් කොමිසමේ නඩුව විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි පවසන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඔක්තොම්බර් 04 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (16) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරුවරයා නියෝග කළේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 04 වැනිදා කැඳවන ලෙසයි. සතොස ආයතනයේ සේවකයන් 153 දෙනෙකු දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා ගැනීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් කියා සිටියි.

එම නඩුව ගොනුකර ඇති අන්දම නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කළත් එය ප්‍රතික්ෂේප කොට නඩුව දිගටම විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇති බව ඔහු කියා සිටියි. මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කොට එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන මෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය ඉල්ලා තිබේ.