කෑගල්ල, රත්නපුර, නුවරඑළියට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

 ඡායාරූපය:

කෑගල්ල, රත්නපුර, නුවරඑළියට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර දිවයිනේ සෙසු පළාත්වල සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරකට මෙලෙස අනතුරු අඟවා ඇති බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොළ සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.