සාමණේර හිමිවරුන්ට හිරහැර වෙන්න දෙන්න එපා

සාමණේර හිමිවරුන්ට හිරහැර වෙන්න දෙන්න එපා

අස්ගිරි මහ නාහිමි පොලිස්පතිගෙන් ඉල්ලයි

හොරව්පතාන ප්‍රදේශයේදී සාමණේර භික්ෂූන් වහන්සේ දෙනමකට ගිහි පුද්ගලයෙකු අමානුෂික ලෙස දඬුවම් කිරීමේ සිද්ධිය මෙරට භික්ෂූන් වහන්සේගේ හා බෞද්ධ ජනතාවගේ සිත් සසල කරවන සුලු එකක් බවත් එවන් සිදුවීම් නැවත සිදු නොවීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

සිද්ධිය අනාවරණය වූ විගස පොලිසිය ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව දැන ගන්නට ලැබුණු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරන ලෙස ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

ලිපියේ තවදුරටත් මෙසේද දැක්වේ.

"සාමණේර භික්ෂූන් වහන්සේලාගේ යම් දෝෂයක් වේ නම් උන්වහන්සේලා නිවැරදි ශාසනික බ්‍රහ්මචාරී ජීවිතයට අනුකූලව ශික්ෂණය ලබාදීමේ වගකීම ඇත්තේ භික්ෂූන් වහන්සේට මිස ගිහියන්ට නොවේ. ගිහි පිංවතුන්ගේ වගකීම වන්නේ යම් භික්ෂුවක් වැරැද්දක් සිදු කරයි නම් එය වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට දැනුම් දීමයි. ඒ අනුව විහාරාධිපතීන් වහන්සේලා, පළාත් නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා, අධිකරණ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා හා සංඝ සභාව ඊට නිසි විනයානුකූල ක්‍රියාමාර්ග ගනු ලබති. සාමණේර වහන්සේලා යනු ළමා වයසේ පසු වන දරුවන්ය. එබඳු පිරිසකගෙන් වැරැද්දක් සිදු වීමට අවකාශය වැඩිය. අතීතයේත් වර්තමානයේත් නොදැනුවත්කම් මත ළමා මානසිකත්වය මත වැරැද්දට යොමු වූ අවස්ථාවන් ශාසන ඉතිහාසයේ දක්නට ලැබේ. එබඳු අවස්ථාවලදී වැඩිහිටි භික්ෂුන් වහන්සේ විසින් නිසි ශාසනික ක්‍රියාමාර්ග ගනු ලබන අතර එහිදී එකී තත්ත්වයන් සමනය කරමින් සාමණේරයන් වහන්සේලා සුරක්ෂිත කළහ."

[අසේල කුරුළුවංශ]

 

මාතෘකා