අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වීමට අදාළ ලිපි ලේඛන සිංගප්පූරුවට යොමු කෙරේ

 ඡායාරූපය:

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වීමට අදාළ ලිපි ලේඛන සිංගප්පූරුවට යොමු කෙරේ

අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා වූ ඉල්ලීම විදේශ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිංගප්පූරු රජයට අද (12) නිල වශයෙන් යොමු කර තිබේ.

මෙම ඉල්ලීම අද විදේශ අමාත්‍යාංශය විසින් සිදුකළ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ නිෂාරා ජයරත්න පවසයි. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීම් කිරීමට අවශ්‍ය නීතීමය ලිපි ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට පසුගියදා (02) බාර දෙනු ලැබිණ. නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ එලෙස බාරදුන් එක් ගොනුවක පිටු 21,000 ක් පමණ අඩංගු බවයි.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට පාඩුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීමේ චෝදනා ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අනුව ඔහුව ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා රජයට අවකාශ සැලසී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශගත වූ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මේ දක්වා හැකි වී නොමැත. එම නඩුව විභාගයට ගත් පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විසින් අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු පසුගියදා නිකුත් කළේය.

එම වරෙන්තු නිකුත් කිරීමත් සමඟ අධිකරණය මඟහැර විදේශගතව සැඟව සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා පිටුවහල් කර ගැනීමට උදර්පන නීතීය සම්පූර්ණ වීමෙන් ගෙන්වා ගැනීමට සිංගප්පූරු රජයෙන් ඉල්ලීම් කිරීමට අවශ්‍ය ලේඛන නීතීපතිවරයා විසින් සකස් කරනු ලැබිණ. ඒ අනුව පිටු 21000කින් යුත් අධිචෝදනා ඇතුළත් ලිපි ලේඛන නීතිපති විසින් ආරක්ෂක අමාත්‍යාංශයට හා විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉදිරිපත් කිරිමෙන් පසු එම ලේඛන සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අත්සන් කළේය. විදේශ අමාත්‍යාංශය විසින් අර්ජුන මහේන්ද්‍රන්ව මෙරටට ගෙන්වා ගැනීමේ ඉල්ලීම සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිංගප්පූරු රජයට ඉදිරිපත් කර කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.