ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍යය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරේ. ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති Faure Essozimna Gnassingbe මහතා ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.


ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ටෝගෝ ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේ ටෝගෝ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතාවල වර්ධනයට මනා රැකුලක් බවයි. ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමඟ හමුවකට හෙට දිනයේදී තමා එක්වන බව එහිදී පැවසූ ටෝගෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ටොගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා තමා එහිදී ආරාධනා කරන බවත් විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට වැඩි අයෝජන අවස්ථා උදා කරදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා බවත් කියා සිටියේය.


අප්‍රේල් 21 වැනිදා සිදුවීම සහ එම ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට ඉතා කෙටිකලක් තුළ ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ එක් ව ගත් සාර්ථක ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී ජනාධිපතිවරයා ටෝගෝ ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ ටෝගෝ ජනාධිපතිවරයා තම ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කළේය. එමෙන්ම ඔහු කියා සිටියේ ලබන සෙනසුරාදා තම රටේදී ආරම්භ වන ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ සම්මේලනයේදී ත්‍රස්තවාදය මැඩලීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ විස්තර කිරීමට තමා අපේක්ෂා කරන බවයි. ඉතා කෙටි වුවත් ටෝගෝ ජනාධිපතිවරයාගේ ඵලදායී වූ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අප්‍රිකානු රටවල් සමඟ ආර්ථික සබදතා තර කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛ අවධානයකින් කටයුතු කරන බවයි.


දෙරට අතර සහයෝගිතාව සහ මිත්‍රත්වය මෙම සංචාරය සමඟ තව තවත් සවිමත් වනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මෙම හමුව සනිටුහන් කරමින් ටෝගෝ ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වීය.