ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සහයෝගිතාව වර්ධනය කිරීමට අවධානය

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සහයෝගිතාව වර්ධනය කිරීමට අවධානය

ශ්‍රී ලංකාවට පැමිණ සිටින සෞදි අරාබි කතානායක ආචාර්ය අබ්දුල්ලා බීන් මොහොමඩ් බීන් ඊබ්‍රහම් අල් ෂෙයික් මහතා ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා පුළුල් මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී නව ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවත් කතානායකවරයා එහිදී කියා සිටියේය. ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සහයෝගිතාව ක්ෂේත්‍ර ගණනාවකින් වර්ධනය කර ගැනීම පිළිබඳවද එහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර සෞදි අරාබිය සෞදි අරමුදල හරහා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනයට දීර්ඝ කාලයක සිට ලබාදෙන සහයෝගයට සෞදි රජය වෙත ස්තූතිය පළ කිරීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේය.  හජ් වන්දනාකරුවන්ට ලබාදෙන පහසුකම් පිළිබඳවද ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළ අතර ඉදිරියේදී හජ් වන්දනාවට ශ්‍රී ලාංකික බැතිමතුන් වැඩි පිරිසක් සහභාගී කරවීමට අවස්ථාව සලසාදීමට ඇති හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

හජ් වන්දනාකරුවන් සඳහා ලබාදෙන පහසුකම් පුළුල් කිරිමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව එහිදී ප්‍රකාශ කළ කතානායකවරයා එම කටයුතු නිමවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය. ශ්‍රී ලාංකිකයන් 136,000ක් පමණ පිරිසක් මේ වන විට සෞදි අරාබියේ සේවය කරන අතර ඔවුන් ඉටුකරන කාර්යක්ෂම සේවාව පිළිබඳව ප්‍රශංසාව පළ කළ කතානායකවරයා තවත් ශ්‍රි ලාංකිකයන් වැඩි පිරිසකට නව රැකියා අවස්ථා ලබාදීම පිළිබඳ තම රජය අවධානයෙන් කටයුතු කරන බවද පැවසීය. ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ මෙන්ම සෞදි අරාබියේද අරමුණ බවත් ත්‍රස්තවාදය යනු ආගමකට හෝ වර්ගයකට සීමාවූවක් නොවන බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.