කංජිපානි ඉම්රාන් 09 වැනිදා යළි අධිකරණය හමුවට

 ඡායාරූපය:

කංජිපානි ඉම්රාන් 09 වැනිදා යළි අධිකරණය හමුවට

සිරදඬුවම් නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා ලබන 09 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බන්ධනාගාර කොමසාරිස්වරයාට අද (05) නියම කළාය.

කෙසෙල්වත්ත පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදුකර තිබේ. කෙසෙල්වත්ත පොලීසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන් විසින් කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සගයකු බව කියන කේමදාසන් තුෂාන්තන් හෙවත් සුසන්ත නමැති හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය කාලයේ අත්අඩංගුට ගෙන තිබූ බව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ විදේශගතව සිටි කංජිපානි ඉම්රාන් දුරකථන මාර්ගයෙන් එම වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන එල්ල කොට අසභ්‍ය වචනවලින් බැන වැදී ඇතැයිද ප්‍රකාශ කළ කෙසෙල්වත්ත පොලීසිය මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස කංජිපානි ඉම්රාන් නම් කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය. ඒ අනුව පොලීසිය කළ ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කංජිපානි ඉම්රාන් නැමැත්තා ලබන 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළාය.