වෛද්‍ය සාෆිගේ සිදුවීම නාඩගමක්

 ඡායාරූපය:

වෛද්‍ය සාෆිගේ සිදුවීම නාඩගමක්

- ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් පසු ගිය දිනවල ඇති වූ සිදුවීම් නාටකයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙක් පක්ෂවලට සාපේක්ෂව අන්තවාදීන්ගේ පිරී ඇතැයි තමන් පිළිගන්නා බවත් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමෙහි අන්තවාදයට එරෙහිව ඔහු තැබූ සටහනකට අදාළව සිදු වූ සංවාදයකදී ඔහු මේ බව පිළිගෙන ඇත. "සියලු අන්තවාදීන් හා ජාතිවාදීන් පරාජය කළ යුතුය. විවිධත්වය ශක්තියක් කරගත යුතුය. මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුය." යනුවෙන් සඳහන් කළ එම සටහනට ආසන්නතම හේතුව බවට පත් වූයේ පසුගිය දිනෙක ශ්‍රී ලංකා පොදු ජන සංධානයේ හවුල්කාර පක්ෂයක් වන පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක මධුමාදව අරවින්ද සිදු කළ අන්තවාදී ප්‍රකාශයක් බවද අලි සබ්‍රි මහතා මෙහිදී හෙළි කර ඇත.

මෙවන් අන්තවාදී ක්‍රියාකාරීත්වයට එරෙහිව පක්ෂය තුළ අභ්‍යන්තර අරගලයක් සිදු කළ යුතු බවද ඒ මහතා එම සටහනෙන් පෙන්වා දෙයි.

ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතෙකු මෙන්ම ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් පසුගිය දා ඉදිරිපත් වූ පෙත්සම සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ලේ ප්‍රමුඛ සාමාජිකයෙකුද වේ.

පසුව සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසා ඇත්තේ සිය අදහසක් සන්දර්භයෙන් පිටත අදහසක් මතු වන ලෙස එක්සත් ජාතික පක්ෂය උපුටා ගෙන ඇති බවත් 1983 දමිළ ජන සංහාරයේදී නිහඬව සිටි එක්සත් ජාතික පක්ෂය මෙරට ඉතිහාසයේ ලොකුම ජාතිවාදීන් බව බවත්ය.

මේ පිළිබඳව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සම්බන්ධ කර ගැනීමට රැස උත්සාහ කළ අතර තමන් කාර්ය බහුල බවත් අපව නැවත අමතන බවත් ඒ මහතා සඳහන් කළ මුත් පුවත්පත මුද්‍රණයට යවන අවස්ථාව වන තෙක් යළි සම්බන්ධ කර ගත නොහැකි විය.

[උපුලි ජයරත්න]

මාතෘකා