ගෝඨාගේ පුරවැසිකම දින තුනක් ඇතුළත ඔප්පු කරන්න

 ඡායාරූපය:

ගෝඨාගේ පුරවැසිකම දින තුනක් ඇතුළත ඔප්පු කරන්න

පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි උපවාසයක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය නීත්‍යනුකූල ලෙස ඉවත් කරගත්තේද යන්න දින 3ක් තුළ තහවුරු කළ යුතු බව පවසමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි විසින් ඊයේ (10) කොළඹ නිදහස් චතුරස්‍රයේදී උපවාසයක් ආරම්භ කර තිබේ.

‘අපේ උත්තරීතර මාතෘ භූමිය ඇමෙරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්‍ෂගේ කුමන්ත්‍රණයෙන් බේරාගනිමු’ යනුවෙන් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් උන්වහන්සේ උපවාසයේ නිරතව සිටිති. ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ තමන් වහන්සේට පෞද්ගලික තරහක් හෝ අමනාපයක් නොමැති බවත් එහෙත් මෙය සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක් බැවින් ඇමරිකානු පුරවැසිභාවය අත්හළ බවට වන නිල ලේඛනය ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත් උන්වහන්සේ මෙහිදී කියා සිටි අතර තවදුරටත් මෙසේද සඳහන් කළහ.

“ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ක මගේ කිසිම පෞද්ගලික අමනාපයක් නැහැ. ජනාධිපතිවරණයට එතුමා සමඟ තවත් 34 දෙනෙක් ඉදිරිපත් වී සිටිනවා. මේ තරගයේ ඇමෙරිකානු පුරවැසියෙක් සිටීම ඒ 34 දෙනාට වූ අසාධාරණයක්. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස මිස ශ්‍රී ලංකා පුරවැසියෙක් ලෙස අපට දැනගන්නට ලැබී නැහැ. ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය අනුව මැතිවරණ දෙපාර්තමේන්තුව, පොලීසිය, අධිකරණය මෙන්ම රටේ ජනතාවත් නොමඟ යවමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කරන බව පේනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ඒ දේ පෙන්නුම් කරදීමට මට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හැකි නම් ඉදිරි දින තුන ඇතුළත තමන් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බවත් ශ්‍රී ලංකා පුරවැසියකු බවත් ඔප්පු කළොත් ගැටලුවක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු දෙනාටම මා ආරාධනා කරන්නේ මේ රටේ ජනතාවගේ අයිතිය ආරක්‍ෂා කරගැනීම සඳහා මා සමඟ එක්වන ලෙසයි.”

[දිනුක මලින්ද හේරත්]

 

News Order: 
2