ගෑස් හිඟයක් ඇති කළාට  ලාෆ් ගෑස් සමාගමට නඩු

 ඡායාරූපය:

ගෑස් හිඟයක් ඇති කළාට  ලාෆ් ගෑස් සමාගමට නඩු

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිල ගණන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ කෘත්‍රිමව මෙහෙයවීමේ චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙරේදා (5) නඩුවක් පවරා තිබේ.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය, යූ. කේ. තිලක් එන් ද සිල්වා සහ තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. කෘත්‍රිම ලෙස වෙළෙඳපොළ මෙහෙයවීමට කුමන්ත්‍රණය කිරීම සහ ලාෆ් ගෑස් කොටස් මිල සම්බන්ධයෙන් එවැනි වරදකට සහය දැක්වීම ඔවුන්ට එරෙහි චෝදනා බව ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව සඳහන් කළේය. ඔවුන්ට එරෙහි චෝදනාවලට වරදකරුවන් වුවහොත් වසර 5ක උපරිමයක් දක්වා වූ සිරදඬුවමකට ලක් කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව ඊයේ (6) නිවේදනය කළේය.

එසේ නොවුණහොත් රුපියල් මිලියන 10ක උපරිමයක් දක්වා වූ දඩයක් හෝ සිරදඬුවම් යන දෙකම නියම කිරීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ සඳහන් වේ. මධ්‍යම තැන්පතු ගිණුම් උපයෝගී කර ගනිමින් 2011 වසරේ ඔක්තෝබර් 7 සහ 10 යන දිනවල ලාෆ් ගෑස් සමාගමේ කොටස් ඇණවුම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙලෙස කෘත්‍රිමව වෙළෙඳපොළ මෙහෙයවීමක් සිදු කර ඇතැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පෙන්වා දී තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 13 වැනි දින මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබේ.

[දිනුක මලින්ද හේරත්]

 

News Order: 
7
මාතෘකා