අගමැතිගේ සහ සජිත්ගේ ලිපියෙන් පසු උඩුදුම්බර හිමියෝ උපවාසය අත් හරිති

අගමැතිගේ සහ සජිත්ගේ ලිපියෙන් පසු උඩුදුම්බර හිමියෝ උපවාසය අත් හරිති

අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ ඊයේ (6) සිය උපවාසය අත්හළහ. ඒ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උන්වහන්සේට යොමු කරන ලද ලිපියකින් අනතුරුවය. එම ලිපියේ සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුව එම ගිවිසුම අත්සන් තබන්නේ නම් එය සිදු කරන්නේ පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත සිදු කරන සංවාදයකින් පසුව බවයි. කිසිම විටක රටට අහිතකර ගිවිසුමකට නොඑළඹෙන බවත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේදී ඒ ගැන උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමඟ සාකච්ජා කර අවවාද අනුශාසනා ලබා ගන්නා බවත් සිය ලිපිය මඟින් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

එසේම අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත මිලේනියම් චැලේන්ජ් සහයෝගීතා ගිවිසුමෙහි පිටපතක් ඉදිරිපත් කර තිබේ. රත්වත්තේ මහතා ඉල්ලා ඇත්තේ ගිවිසුමෙහි රටට අයහපත් යෝජනා ඇත්නම් ඒවාට සුදුසු සංශෝධන ඉදිරිපත් කරන ලෙසය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා