ඝන හා අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රියාත්මක ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මකයි

 ඡායාරූපය:

ඝන හා අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රියාත්මක ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මකයි

ඝන හා අර්ධ ඝන ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ජුනි මස 01 වැනිදා සිට බලාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

1980 අංක 26 දරණ ආහාර පනතට අනුව ඊට අදාළ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අප්‍රේල් මස 17 වැනිදා නිකුත් කර ඇත. මෙම නියෝග පැනවීමේ මූලික පරමාර්ථය වන්නේ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය පාදක කරගෙන ශ්‍රී ලංකාව තුළ දැනට වර්ධනය වෙමින් පවතින බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාවට ආහාර තෝරා ගැනීමේදී මගපෙන්වීමටත්, පොදුවේ ශ්‍රී ලංකාවාසීන්ට ආහාර සම්බන්ධයෙන් අවබෝධාත්මක පෙළෙඹවීමක් ඇති කිරීමටත්ය.  

ලබන ජුනි 01 වැනිදායින් පසු නිෂ්පාදනය කරනු ලබන ඝන හා අර්ධ ඝන ආහාරවල වර්ණ සංකේතවත් කිරීම නිසි අයුරින් සිදු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇත. එම ආහාර නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා කර එකඟතාවයක් ඇතිකර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. මෙම ක්‍රමවේදය අධික සීනි සහිත පානයන් හඳුනාගැනීම සඳහා ඉතා පහසුවක් වූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණවලින් හෙළිදරව් වූයේ පාසල් ළමුන්ගෙන් සියයට 50ක් පැණිබීම භාවිතා කිරීමට ප්‍රථම වර්ණ සංකේත පරීක්ෂා කරන බවයි. එම සංකල්පය ඝන සහ අර්ධ ඝන ආහාර සඳහා ක්‍රියාත්මක කිරීමේදී සීනි සඳහා පමණක් නොව ලුණු සහ මේදය යන ආහාර සංඝටක 02ද ඇතුළත් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව ජනතාව තම ආහාර තෝරා ගැනීමේදී ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණයන් සම්බන්ධයෙන් එම ආහාරයේ ලේබලයෙන් නිසි තොරතුරු ලබාගත හැකිය. මේ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, වැනි බෝනොවන රෝගවලින් පෙළෙන රෝගීන්ටත් එම රෝග වැළඳීමට වැඩි අවධානමක් ඇති අයටත් එම තත්ත්වයන්ගෙන් මිදීමට මෙය පිටිවහළක් වනු ඇත.

මෙම ක්‍රමය ප්‍රායෝගිකව රට තුළ ක්‍රියාත්මක කිරීමේදී එම ආහාර නිෂ්පාදකයින්ට විවිධ ආහාර වර්ගවල ඉහත සංඝටකයන් කොතරම් ප්‍රමාණයක් ඇත්ද යන්න රසායනාගාර පරීක්ෂාවක් මඟින් තහවුරු කර ගත යුතු බැවින් කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින්ට එම කටයුත්තේ ඇති අපහසු බව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහනයක් ඉල්ලා සිටින ලදී. මේ පිළිබඳව සානුකම්පිතව සලකා බැලූ සෞඛ්‍ය අමාත්‍යවරයා එම ව්‍යවසායකයින් සඳහා මෙම නියෝගයන්ට අනුකූලවීම සඳහා මාස 03ක සහන කාලයක් ලබාදෙන ලෙස ප්‍රධාන ආහාර බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත. මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ද දැනුවත් කර ඇත.