ජාතික ආරක්ෂාව තහවුරු කරන්න සියලු දෙනාගේ සහාය දෙන්න

 ඡායාරූපය:

ජාතික ආරක්ෂාව තහවුරු කරන්න සියලු දෙනාගේ සහාය දෙන්න

ජනපති ආරක්ෂක සභාවෙන් ඉල්ලයි

සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා මෙන්ම සහයෝගය ලබා ගනිමින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී එම කටයුතු සමාලෝචනය කිරීමේ සභාවක් මාසිකව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. එහි පළමු රැස්වීම පසුගියදා (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන්ද, කථානායක කරු ජයසූරිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන්ද, ආණ්ඩුකාරවරුන්, පක්ෂ නායකයන් ඇතුළු නියෝජිතයන්ද, විශ්වවිද්‍යාල උපකුලපතිවරු, මහාචාර්යවරු අතුළු විද්වතුන්ද, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පසුගියදා රට තුළ ඇති වූ තත්ත්වය සමනය කිරීමට මසක් වැනි කෙටි කාලයක් ඇතුළත පියවර ගැනීම පිළිබඳ මෙහිදී සහභාගී වූ සියලු නියෝජිතයෝ පළමුව ජනාධිපතිවරයා වෙත සිය ප්‍රශංසාව පළ කළහ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් රටේ ආරක්ෂාව ශක්තිමක් කිරීමේදී සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවය.