සමහරු මාසයක් පුරා භීතිය වැපිරුවා : කථානායක කරු ජයසූරිය

සමහරු මාසයක් පුරා භීතිය වැපිරුවා : කථානායක කරු ජයසූරිය

පවතින සාමකාමී වතාවරණය තවදුරටත් ඉදිරියටත් ගෙන යමින් සුපුරුදු දෛනික කටයුතු සහ පාසල් අධ්‍යයන කටයුතු නොපැකිළිව සිදු කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරන බහුතර මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා දින සිට වෙසක් පුර පසාළොස්වක පොහොය දිනය දක්වාම පැතිර ගිය භීතිය පතුරවනසුලු ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය බවට මේ වන විට ජනතාව අවබෝධ කර ගෙන ඇති බවත් මුස්ලිම් ජනතාව පීඩාවට පත් කරමින් ඔවුන්ගේ දේපළ විනාශයට පත් කරමින් ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩත්වයද කඩාකප්පල්කාරී ක්‍රියාදාමයේ තවත් දිගුවක් බවත් කථානායකවරයා සඳහන් කළේය.

මෙම සිදු වූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ කීර්ති නාමයටද විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගේ ගෞරවයටද හානි සිදු ව ඇති බවත් වර්තමානය වන විට ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් සඳහා ස්ථිර ලෙස ගැටලු නිරාකරණය කර ගැනීමේ වැදගත් පියවර රැසක් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක් වී ඇති බවත් කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

[දිනුක මලින්ද හේරත්]