ත්‍රිවිධ හමුදාව සම්පූර්ණ විශ්වාසයි

ත්‍රිවිධ හමුදාව සම්පූර්ණ විශ්වාසයි

-ජනපති

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය, කැපවීම සහ ජීවිත පරිත්‍යාගය තුළ මව්බිම සෑම විටම සුරක්ෂිත වූ බවත් රටට මුහුණදීමට සිදුව තිබෙන ත්‍රස්ත අභියෝගය මුළුමනින්ම අතුගා දමා ස්ථීරසාර සාමයක් ස්ථාපිත කිරීමට ත්‍රිවිධ හමුදාවට හැකියාව පවතින බව සේනාධිනායකයා ලෙස තමා දැඩිව විශ්වාස කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පස්වරුවේ පැවති රණවිරු උත්තම ප්‍රණාම දස වර්ෂ පූර්ණ සැමරුම් උත්සවය අමතමින් පැවසීය.

මාතෘභූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ, අතුරුදන් සහ ආබාධිත වූ රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් පැවැත්විණි.

උත්සවය ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ වසර 30ක ත්‍රස්තවාදයට එරෙහි යුද ජයග්‍රහණයට දස වසරක් සපිරෙන අවස්ථාවේ ඊට හාත්පසින්ම වෙනස් ජාත්‍යන්තර ත්‍රස්තවාදී සිදුවීමකට නොසිතු අයුරින් මුහුණදීමට සිදුව තිබෙන බවයි. ඒ හමුවේ මෙරට ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ සහ සියලු ආරක්ෂක අංශවල විශේෂඥයන් ඇතුළු සියලු දෙනාට නව වගකීමක් පැවරී ඇති බවත් වසර 30ක යුද අත්දැකීම් සමඟ මේ අභියෝගයද නියත වශයෙන්ම ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔවුන්ට හැකියාව තිබෙන බවත් ඔහු කියා සිටියේය.

යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ සහ ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් සිය ගෞරවය සහ ප්‍රණාමය පුද කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ දෙමාපියන්, බිරින්දැවරුන් ඇතුළු පවුල්වල සාමාජිකයන් වෙතද සිය උපහාරය පිරිනැමීය. මේ අතර අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සියලු දෙනා සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සිහිපත් කරමින් සිය සංවේගය පිරිනැමීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේය.

[දිනුක මලින්ද හේරත්]