වෙසක් දින සුරාබදු වැටලීම් 500ක්

 ඡායාරූපය:

වෙසක් දින සුරාබදු වැටලීම් 500ක්

2019 වෙසක් උත්සව සමය වෙනුවෙන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවනු ලබන විශේෂ වැටලීම් මාලාවට සමගාමීව ගම්පහ, මීගමුව සහ ජාඇල සුරාබදු බලප්‍රදේශ තුළ සිදු කරන ලද වැටලීම්වලදී සංවිධානාත්මකව පවත්වාගෙන ගිය මහා පරිමාණයේ නීති විරෝධී ස්කාගාර දෙකක තිබී රුපියල් මිලියන 17ක් පමණ වටිනා ගෝඩා තොගයක් සොයා ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්ව තිබේ.

කොච්චිකඩේ, ඇත්ගාල සහ මිනුවන්ගොඩ, දෙවොලපොළ යන ප්‍රදේශවලදී මහා පරිමාණයේ නීති විරෝධී ස්කාගාර දෙකක් සොයා ගැනීමට හැකි වී ඇති අතර එහිදී ස්ප්‍රීතු නිපදවීමට යොදාගන්නා උපකරණ රාශියක් සමඟ නීති විරෝධී ලෙස නිපදවන ලද ස්පීතු ලීටර් 12,650ක් සොයා ගැනීමටත් ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමටත් සුරාබදු නිලධාරීන් සමත් වී තිබේ.

එසේම කඳාන, කඩවල ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස නිපදවන ලද ස්පීතු ලීටර් 19,500ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා වෙසක් සමය නිමිත්තෙන් මත්පැන්හල් වසා තැබෙන කාල සීමාව තුළ අලෙවි කිරීම සඳහා බෙදාහැරීමට සූදානම් කරමින් තිබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මීට අමතරව ජාඇල, කල්එලිය ප්‍රදේශයේදී ගෝඩා ලීටර් 1,890ක් සමඟ තවත් සැකකරුවකුද අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම්වලදී හසු වූ මත්පැන් පෙරීමට ගත් උපකරණ, ගෝඩා සහ ස්ප්‍රීතුවල මුළු වටිනාකම රුපියල් මිලියන 17කට වඩා අධික වන බව ඊයේ (19) සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනා සුරාබදු ඇප මත මුදාහැර ඇති අතර ඔවුන්ට එරෙහිව වත්තල, මිනුවන්ගොඩ හා මීගමුව යන මහේස්ත්‍රාත් අධිකරණවලදී නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

එසේම පසුගිය 17 සහ 18 යන දෙදින තුළ දිවයින පුරා සුරාබදු වැරදි සම්බන්ධ වැටලීම් 500ක් සිදු කර පුද්ගලයන් 501 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී රුපියල් දසලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුතු මත්පැන්, ස්ප්‍රීතු, ගෝඩා, පෙරීමේ උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමටද හැකි වූ බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය. මෙහිදී සුරාබදු අපරාධ 464ක්, මත්ද්‍රව්‍ය අපරාධ 30ක් සහ දුම්කොළ අපරාධ 6කට අදාළව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

මාධ්‍යයන්ගෙන් ලද ප්‍රචාරණය හා ඒ ඔස්සේ මහජනයාගෙන් ලද පැමිණිලි මත මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට හැකිව තිබෙන බවත් ඉදිරි දෙදින තුළද 011-204-5077 හා 011-219-2192 යන දුරකථන අංක ඔස්සේ මහජනතාවට පැමිණිලි යොමු කිරීමටඅවස්ථාව සලසා ඇති බවත් ඒ මහතා පැවසීය.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් පරිදි හා සුරාබදු මූලස්ථාන නීති ක්‍රියාත්මක කිරීම් අංශයේ සම්බන්ධීකරණය යටතේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් ගණනාවකගේ අධීක්ෂණය හා සහභාගිත්වය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම විශේෂ මෙහෙයුම් මාලාව සඳහා දිවයින පුරා විසිරී සිටින සුරාබදු නිලධාරීන් 1,200කගේ සක්‍රීය සහභාගීත්වය ලබා ගන්නා අතර එම වැඩ සටහන මැයි මස 20 වැනිදා දක්වාම පැවැත්වීමට නියමිතය.

[තියේෂා ද සිල්වා]

මාතෘකා