ජාතික ආරක්ෂාවට චීන-ලංකා ගිවිසුම් තුනක්

 ඡායාරූපය:

ජාතික ආරක්ෂාවට චීන-ලංකා ගිවිසුම් තුනක්

රුපියල් කෝටි 260ක පරිත්‍යාග - පොලිසියට කෝටි 150ක ජීප් රථ ත්‍රස්තවාදය මඬින්න තාක්ෂණික උපකරණ

ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ඕනෑම සහායක් ලබාදෙන බවත් විශේෂයෙන් ත්‍රස්තවාදය සහ අන්තර්ජාල අපරාධ මැඩලීමට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ මෙන්ම දැනුම ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බවත් චීන ජනපති ෂී ජින්පින් මහතා ඊයේ (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරොන්දු වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් චීන රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 260ක පරිත්‍යාගයක් ලබා දීමට චීන ජනපතිවරයා පොරොන්දු වී තිබේ. එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි චීනයේ විශේෂ පරිත්‍යාගයක් ලෙස රුපියල් කෝටි 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු පහසුකම් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදීමටද තීරණය වී තිබේ.

චීනයේ එක් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපතිවරයා අතර නිල හමුව ඊයේ (14) පස්වරුවේ චීන ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහි දී මේ බව අවධාරණය කෙරිණි. මේ අතර දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද මෙම රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව සිදු විය. ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා චීන ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ලොව කොතැනක වුවද ම්ලේච්ඡ ත්‍රස්තවාදය තමා දැඩි ලෙස හෙළා දකින බවයි. අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ මෙහි දී සිය බලවත් අප්‍රසාදය පළ කළ හෙතෙම එහි දී අසීරුතාවට පත්වූ සියලු ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සිය කනගාටුව පළ කළේය. ත්‍රස්ත අභියෝගය ජය ගනිමින් යළි නැඟී සිටින ශ්‍රී ලංකාව සමඟ චීන රජය සෑමවිටම අත්වැල් බැඳගෙන සිටින බව මෙහිදී අවධාරණය කළ චීන ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම සහයක් උපරිම ලෙස ලබාදීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

එසේම දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කර ගැනීම පිළිබඳද සාකච්ඡාවට බඳුන් කෙරිණි. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි දී කියා සිටියේ ත්‍රස්තවාදය මැඩලීමේදී මෙන්ම අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සැඟවී සිට ත්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනා ගැනීමටත්, එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙනුත් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශ්‍රී ලංකාවට නොමැති බවයි. ඒ අනුව එම තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා කඩිනම් සහාය ලබා දීමටත් ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමටත් කටයුතු කරන බව කියා සිටියේය.

මීට අමතරව චීනයේ බීජිං නගරයේදී අද (15) පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට තුළ පවතින වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය වෙනුවෙන් ගන්නා වූ සුබවාදී තීරණ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ පැහැදිලි කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවැසීය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා