ඥානසාර හිමිට අපහාස කිරීම ගැන නීති උපදෙස් නැහැ - පෙත්සම් විභාගය කල් යයි

 ඡායාරූපය:

ඥානසාර හිමිට අපහාස කිරීම ගැන නීති උපදෙස් නැහැ - පෙත්සම් විභාගය කල් යයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බැන වැදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ක්‍රියා කළා යැයි චෝදනා ලබා සිටින ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුර් රාසික් මහතාට එරෙහිව පෙත්සම නැවත ජූලි මස 25 වැනිදා කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර නීති උපදෙස් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව පැමිණිල්ල ජූලි මස 25 කැඳවීමට නියම කළ අතර එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද පොලීසියට දැනුම් දුන්නේය.

 

2016 වසරේ මාළිගාවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමකදී බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අපහාසාත්මක අයුරින් බැන වැදී ජාතීන් අතර නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා කරමින් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුර් රාසික්ට එරෙහිව පැමිණිල්ලක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.