තවුහිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් ෆාරුක් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

 ඡායාරූපය:

තවුහිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් ෆාරුක් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව පැවසෙන මොහොමඩ් ෆාරුක් මෙම මස 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සැකකරු අද (07) බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කළ අතර එහිදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති බවට විමර්ශන වලදී කරුණු හෙළිවී ඇති බවයි.

මෙම සැකකරු සතුව තිබී ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛන සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට අධිකරණයට බලයක් නොමැති බවයි. ඒ අනුව අදාළ සැකකරු ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.