විනිසුරුවරුන් ත්‍රස්තවාදින් යැයි කියූ අසාද් සාලිව හෙළා දකිනවා

 ඡායාරූපය:

විනිසුරුවරුන් ත්‍රස්තවාදින් යැයි කියූ අසාද් සාලිව හෙළා දකිනවා

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ යැයි කළ ප්‍රකාශය හෙළාදකින බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

ආණ්ඩුකාරවරයා පසුගියදා (04) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනපතිට, අගමැතිට, ඇමතිවරියට හෝ අගවිනිසුරුට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී වගකිවයුතු ආණ්ඩුකාරවරයෙක් ලෙස කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව අමාත්‍යවරිය නිකුත් කළ සිය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. ආණ්ඩුකාරවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයෙක්ගේ සිත් තැවුලකට පත් වූයේ නම් කණගාටුව ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

 

එම නිවේදනය මෙසේය.

 

ඊයේ දවස වන විට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් අධිකරණයට සම්බන්ධව විනිශ්චයකාරතුමන්ලා පිළිබඳව මාධ්‍ය හරහා යම් කිසි හෙළිදරව්වක් කරන්නට යෙදුණා. මම මොනම හේතුවකටවත් මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න සුදානම් නැති වුණත්, මාධ්‍ය හරහා වෙච්ච හෙළිදරව්වක් නිසා ඒ සඳහා මට මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන්න වෙලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම මම ඇත්තටම සන්තෝෂ වෙනවා ගරු ආණ්ඩුකාරතුමා මේ පිළිබඳව විෂය භාර ඇමතිවරිය හැටියට අපිව පුද්ගලිකව දැනුවත් කරලා හෝ අතිගරු ජනාධිපතිතුමා හෝ ගරු අගමැතිතුමා දැනුවත් කරලා, ඒ අවශ්‍ය කටයුතු කරන්න අපිට උපදෙස් ලබා දුන්නා නම්, නමුත් එහෙම කිසිම දෙයක් නොකර මම හිතන්නේ මේ වෙලාවේ ඉතාම ස්වාධීන අධිකරණයක් රටේ ක්‍රියාත්මක වන වෙලාවක, නීතියට ගරු කරමින් නීතිය ක්‍රියාත්මක වන වෙලාවක විනිශ්චයකාරවරයෙක් කළ සිද්ධියක් හෝ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යයට කෙලින්ම කතා කිරීම ඒ තරම්ම හොඳ ක්‍රියාවක් හැටියට මම දකින්නේ නැහැ. ඒ පිළිබඳව මම මේ අවස්ථාවේ හෙළා දකිනවා.

ඒ ගැන මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. මාධ්‍ය හරහා එවන් සිද්ධියක් සම්බන්ධයෙන් මොනම විනිශ්චයකාරවරයෙක් හරි කටයුතු කරලා තියෙනවා නම්, ඒ සම්බන්ධයෙන් ගරු අග්‍රවින්ශ්චවකාරතුමාවත් විෂය භාර ඇමතිවරිය හැටියට මාවත් දැනුවත් කළා නම් ඒ අනුව අපිට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා අවශ්‍ය කටයුතු කරන්නට පුළුවන්කමක් ඇති වෙනවා. මගේ විශ්වාසයේ හැටියට නම් එහෙම කිසිම විනිශ්චයකාරවරයෙක් සම්බන්ධව මේ වන තෙක් අපිට කරුණු අනාවරණය වෙලත් නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් සිත් තැවුලකට අපේ ගරු විනිශ්චයකාරතුමන්ලා පත් වෙලා ඉන්නවා නම් මගේ කණගාටුව ඒ අයට ප්‍රකාශ කරනවා. මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. හැබැයි මේ තත්ත්වය රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මොනම තත්ත්වයක හෝ තරාතිරමක කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා නම් දේශපාලන භේදයකින් තොරව, තනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමකින් තොරව අවශ්‍ය උපරිම කටයුතු කරන්න අපි ඕනෑම වෙලාවක සූදානම් කියන එකත් මේ අවස්ථාවේ දැනුවත් කරනවා.