ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවා : ජනපති කියයි

 ඡායාරූපය:

ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවා : ජනපති කියයි

පාස්කු ඉරිදා සිදු වූ ඛේදවාචකය හමුවේ සියලු ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1) කොළඹ පදනම් ආයතනයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම් උත්සවය අමතමින් පැවැසීය.

සිදු විය යුත්තේ වැඩක් කෙරෙන බවට පෙනෙන්න නැතැයි වැනි ප්‍රකාශ කරමින් එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම නොව ජාතියක් ලෙස අනුවේදනීය මතක සටහන් සමඟ ත්‍රස්තවාදය විනාශ කිරීමට කටයුතු කිරීම බව ජනාධිපතිවරයා පැවැසීය.

‘ආරක්ෂිත මව්බිමක් - ජවය පිරි වැඩබිමක්’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබු මෙම සැමරුම් උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයන් ඇතුළු පාක්ෂිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ. නව සම සමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළු වාමාංශික පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ද ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් පිරිසක්ද මීට එක්ව සිටියහ.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ රටත්, ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබා ත්‍රස්තවාදය විනාශ කිරීමේ කාර්යයට උර දෙන බවයි. රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව මේ වන විට තහවුරු කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා විදේශීය විශේෂඥ දැනුමද සහිතව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහළ වැඩපිළිවෙළක් ආරක්ෂක හමුදාවන් මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන බව සඳහන් කළේය.

එසේම මෙම ඛේදවාචකය වළක්වාගැනීමේ වගකීම් පැහැර හැරි සියලු දෙනා සම්බන්ධයෙන්ද ඉදිරියේදී නිසි පියවර ගන්නා බවත් මෙම සිදුවීම පිළිබඳ සති දෙකක වාර්තාවක් ලබා දීමට තමා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව පෙරේදා (30) තමාට ලැබුණු බවත් සඳහන් කළේය. එමෙන්ම මෙරට වැඩ කරන ජනතාව, වෘත්තීය සමිති සාමාජිකයන් ඇතුළු සියලුදෙනා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී රටක් ගොඩනැ‍ඟීමේ කාර්යය සමඟ කිසිදු බේදයකින් තොරව පෙළ ගැසෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ජනාධිපතිවරයා පැවැසීය.

[දිනුක මලින්ද හේරත්]