රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අව‍ශ්‍ය වෛද්‍ය පරීක්ෂණ ඔන්ලයින් ක්‍රමයට

 ඡායාරූපය:

රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අව‍ශ්‍ය වෛද්‍ය පරීක්ෂණ ඔන්ලයින් ක්‍රමයට

ඔන්ලයින් ක්‍රමය මගින් නිවසේ සිටම රියදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කරවා ගැනීමට වේලාවක් වෙන් කරවා ගැනීමට අවශ්‍ය පහසුකම් කඩිනමින්  සකස් කරන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ බලධාරින්ට අවධාරණය කර ඇත. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රගති සමාලෝචන රැස්විමේදීය.

 

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලයට සහ දිස්ත්‍රික් කාර්යාලවලට යොමු වන අයදුම්කරුවන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි වෙමින් පවතී. එම පැමිණෙන අයදුම්කරුවන් හට දිගු කාල වේලාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදු වේ. මෙම තත්ත්වය මඟ හරවාලීමට මෙම ඔන්ලයින් ක්‍රමය මගින් හැකිවෙතැයි තමා අපේක්ෂා කරන බවත් විදේශිය රටවල මෙම ක්‍රමය දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

එහිදී හෙලි වූ කරුණු අනුව පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන් වෙතද පැවති රියදුරු අයදුම්පත් ලබා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ කිරීමේ අවසරය ජාතික වෛද්‍ය ආයතනය වෙත පැවරිමෙන් පසු 2013 මාර්තු මස 21 වැනිදා සිට සියයට 3.67කින් අයදුම්කරුවන් වැඩි වී ඇති බව ප්‍රකාශ විය. ඒ තුළින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ආදායම් තත්ත්වයද සියයට 11.28කින් ඉහළ ගොස් ඇත. මෙලෙස දිවයිනේ ශාඛා කාර්යාල 25 වෙත යොමු වන අයදුම්කරුවන් වෙත උපරිම සේවාවක් හා පහසුකම් සැලසීම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තවදුරටත් පුළුල් විය යුතු බවද දිස්ත්‍රික් කිහිපයක දැනට ලබා ගෙන ඇති ඉඩම් තුළ නවීන පහසුකම් සහිතව වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථාන ඉදි කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

එහිදී විශේෂයෙන් හෙලි වූ කරුණක් වූයේ 2019 ජනවාරි මස රියදුරු බලපත් ලබා ගැනීම සඳහා වෛද්‍ය පරික්ෂණ 80000ක පමණ අයදුම්කරුවන් පිරිසක් ඉදිරිපත් වී ඇති බවත් එයින් 9686 දෙනෙක් එනම්, සියයට 10ක් වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් වී ඇති බවත්ය. එමෙන්ම එම අසමත් පිරිසෙන් සියයට 53ක් අක්ෂි ආබාධවලින්ද සියයට 10.08ක් අධි රුධිර පීඩනයෙන්ද පෙළෙන බව හෙලි විය. මෙලෙස ජාතික වෛද්‍ය පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් වැඩි වීමට තවත් හේතුවක් වූයේ රථ වාහන පොලීසිය මඟින් සහ අධිකරණ ක්‍රියාමාර්ගවලින් ශාරිරික යෝග්‍යතාවයන් සඳහා රියදුරන් යොමු කිරීමයි.