හෝටල් සහ ආපනශාලා සඳහා නව නීති රීති

 ඡායාරූපය:

හෝටල් සහ ආපනශාලා සඳහා නව නීති රීති

හෝටල් සහ ආපනශාලාවලින් ආහාර ලබාගන්නා ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම සඳහා නව නීතිරීති කඩිනමින් ගෙන එන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා මෙසේද කීය.

 

“දිවයින පුරා පිහිටි හෝටල් ශ්‍රේණිගත කිරීම පසුගිය කාලයේදී සිදු කෙරුණා. ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීම සඳහා හෝටල් සහ ආපනශාලා සඳහා නව නීති රීති සෞඛ්‍ය අමාත්‍යංශය සකස් කරමින් සිටිනවා. එහිදී සෑම හෝටලයක්ම වසරක් පාසා ලියාපදිංචි කළ යුතු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වා දෙන නව රෙගුලාසිවලටද අනුකූල විය යුතුයි. ආහාර අතින් අල්ලා පාරිභෝගිකයාට අලෙවි කිරීමද තහනම් කරනවා. ජනතාව බෝ නොවන රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ පියවර ගනු ලබනවා. අමාත්‍යාංශ 14ක් ඒකාබද්ධව බෝ නොවන රෝග කවුන්සිලය ස්ථාපිත කර විවිධ ක්‍රියාමාර්ග සාකච්ඡා කරනවා. එහි ප්‍රතිඵල ඉදිරියේදී ජනතාව අතරට ඉදිරිපත් කිරීමට සූදානම්. බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා ලෝක බැංකුව විසින් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදී තිබෙනවා. ඉදිරියේදී තවත් ඩොලර් මිලියන 100ක් ලබාදීමට නියමිතයි.

 

පාසල් පද්ධතිය තුළ ආපනශාලා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක අතර, පාසල් දරුවන්ට ලබාදිය යුතු ආහාර පිළිබඳ ලේඛනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වා දී තිබෙනවා. එම ආපනශාලා ප්‍රතිපත්තිය පාසල් 150ක පමණ ක්‍රියාත්මක අතර, එම ආපනශාලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවටද ලක් කරනවා. එලෙස ආහාර අලෙවි නොකරන පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් කරුණු විමසීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. බෝනොවන රෝග පරීක්ෂා කිරීම සඳහා විවිධ උපකරණද පාසල්වලට ලබා දී තිබෙනවා.