මේ වසර හතර ඇතුළත එකම දේශපාලන ඝාතනයක්වත් සිදු වුණේ නෑ

 ඡායාරූපය:

මේ වසර හතර ඇතුළත එකම දේශපාලන ඝාතනයක්වත් සිදු වුණේ නෑ

 

ජිනීවා කොමිසම ගැන සඳහන් කිරීමේදී මේ දිනවල රජයට විවිධ අභියෝග රැසක් එල්ල වී තිබෙනවා. ඒ සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දීම සඳහා රජය කටයුතු කරමින් සිටින අතර සහජීවනය ඇතිකිරීම සඳහා රජය සැලකිය යුතු පියවර අරන් තිබෙනවා. ඒ වෙනුවෙන් අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමක් පත් කළා. තව අතුරුදහන් වූවන්ගේ තොරතුරු විශාල ප‍්‍රමාණයක් දිසාපතිවරුන් මගින් එක් රැස්කොට විශාල තොරතුරු හා දත්ත ප‍්‍රමාණයක් සහිත කාර්යාලයකුත් ස්ථාපිත කිරීමට කටයුතු කළා. ඒ වගේම විශේෂ කරුණ නම් මේ වසර හතර ඇතුළත එකම දේශපාලන ඝාතනයක්වත් සිදු වුණේ නෑ.යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (17) ති‍්‍රකුණාමලය නගර සභාවේ පැවති ත‍්‍රිකුණාමලය නගර සංවර්ධනය පිළිබඳව ති‍්‍රකුණාමලය නාගරික මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහීදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

යුද්ධය අවසන් වී මේ වනවිට වසර දහයක් ගෙවී අවසන්. අපි මිනී ඇට කටු සොයා ගියහොත් පෘතුගීසි කාලයේ සිට සිදුවූ සිදුවීම් පිළිබඳ හොයන්න වේවි. අපි දැන් කරන්න ඕනේ මිනී ඇට කටු හොයන එකවත් ජාත්‍යන්තරයට ගොස් එකිනෙකාට චෝදනා කර ගැනීම නොවෙයි. මේ අතීතයට සමු දී අතුරුදහන් වූවන්ට සහතික නිකුත් කර ඔවුන්ගේ කාලත‍්‍රයන්ට යුක්තිය ඉටුකර සහන සැළසීමයි. ඒ වගේම සටනට දායක නොවූ සාමාන්‍ය ජනතාවගේ හානියට පත් දේපළ සඳහා වන්දි ගෙවිය යුතුයි. ඉඩම් අත්පත් කරගෙන ඇතිනම් හමුදා කඳවුරු සඳහා අත්‍යවශ්‍ය ඉඩම් රඳවාගෙන ඔවුන්ට වන්දි ගෙවිය යුතුයි. විශේෂයෙන්ම අනාථභාවයට පත් අයට සහන සැළසිය යුතුයි. අත්අඩංගුවේ සිටින යුදමය කාරණාවන්ට සම්බන්ධ සීයක් පමණ වූ පිරිස හමුදාවෙත්, එල්ටීටීඊ සංවිධානයේත් අයට සමාව දී මේ ප‍්‍රශ්නය මෙතනින් අවසන් කළ යුතුයි. මේ ප‍්‍රශ්නවල අගමුල හොයන්න ගියොත් සෑම පාර්ශවයකටම දඩුවම් දීමට සිදුවේවි. එවැනි තත්වයක් කරා අපට යාමට නොහැකියි. මේ වසර හතරේ ආදර්ශය අරගෙන රට ඉදිරියට ගමන් කළ යුතුයි.