මානව හිමිකම් සැසියට පංච පුද්ගල කමිටුවක් නම් කරයි

 ඡායාරූපය:

මානව හිමිකම් සැසියට පංච පුද්ගල කමිටුවක් නම් කරයි

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් මෙරට නියෝජිත කණ්ඩායමක් නම් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා අතර ඊයේ (12) පැවති සාකච්ඡාවකදී මෙම පංච පුද්ගල කමිටුව නම් කර ඇත. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නයකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවීනාත ආරියසිංහ හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පිල්ලෙ යන මහත්වරුන් ඊට ඇතුළත්ය.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනයට අදාළව නිකුත් කළ වාර්තාව පිළිබඳව ලබන 20 වැනිදා මාවන හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සලකා බැලීමට නියමිත බවයි. ඊට අදාළ යෝජනා කෙටුම්පත ලබන 21 වැනිදා සාකච්ඡාවට ගැනීමට නියමිතය. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස්, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්ත ජයසූරිය සහ ශ්‍රී ලංකාවේ ජිනීවා මෙහෙයුමේ සෙසු අදාළ නිලධාරීන්ද මීට සම්බන්ධ වීමට නියමිතය.