ජවිප - ටීඑන්ඒ සාකච්ඡා සාර්ථකයි : ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත

 ඡායාරූපය:

ජවිප - ටීඑන්ඒ සාකච්ඡා සාර්ථකයි : ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනවිත් ඒ සඳහා ඡන්ද විමසීමක් කරනවා නම් එයට ද්‍රවිඩ ජාතික සන්ධානයේ විරුද්ධත්වයක් නොමැති යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා ප්‍රකාශ කළ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ‘රැස’ට පැවැසීය.

ඊයේ (11) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සාකච්ඡාවක දී ඒ පිළිබඳ එකඟත්වයකට පැමිණ තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) පස්වරු 2.00ට පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. එහි දී ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මැදිහත්වීම සඳහා ජනතාවට හැකියාව ලැබෙන ජනමත විචාරණයකට යාම සඳහා පාර්ලිමේන්තුවෙන් 2/3ක බලයක් ලබාගැනීමට සහාය ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

මෙම අවස්ථාව සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ආර්. සම්බන්දන්, එම්. ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන් සහ ඩී. සිද්ධාර්ථන් යන අය සහභාගි වූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත යන අය සහභාගි විය.

[දිනුක මලින්ද හේරත්] [රසිකා හේමමාලි]

මාතෘකා