කඳුළු හෙලමින් හීන ඇහිඳින ගෙදර බුදුවරු

 ඡායාරූපය:

කඳුළු හෙලමින් හීන ඇහිඳින ගෙදර බුදුවරු

අද බිලිඳියක නමුදු හෙට ලෝකය බිහි කරන්නී ඇයයි. ගැහැනියට මෙන්ම පිරිමියාට මව වන්නීද ඇයයි. තිඹිරි ගෙයින් ජීවිතය ඇරඹූ දා සිට දියණියක, සොයුරියක, බිරියක, මවක, මිත්තනියක ලෙස සුසානයෙන් ජීවිතය අවසන් කරන දා දක්වා භූමිකාවන් රැසක් නිරූපණය කරන ඇය 'ගැහැනිය' නම් වන්නීය. කාලයක් තිස්සේ තොටිල්ල පැදවීමටත් ඉවුම්පිහුම් ඇතුළු කුස්සියේ වැඩ කන්දරාවකටත් සීමා වූ ඇගේ අත ලොව ආණ්ඩු කිරීමට පටන් ගෙනද දැන් සෑහෙන කාලයක් ගතවී ඇත. එනමුදු එදාටත් වඩා වැඩි අභියෝග රැසක් වත්මන් ගැහැනිය හමුවේ පවතී.

ලොව බලවත් ගැහැනියක ලෙස සැලකූ ඇමරිකානු එක්‌සත් ජනපදයේ හිලරි ක්ලින්ටන් ජනාධිපතිවරණ සටනින් පරාජයට පත්වූ අවස්‌ථාවේදී අපූරු ප්‍රකාශයක් කළාය. "මේ දෙස බලා සිටින සියලු කුඩා ගැහැනු ළමයිනි, ඔබගේ සිහිනය හඹා යෑමට හා සාක්‌ෂාත් කර ගැනීමට තරම් ඔබ බලවත් හා වටිනා බව මෙන්ම ලෝකයේ සෑම අවස්‌ථාවක්‌ම ඔබ හට තිබෙන බවට සැක හැර තේරුම් ගන්න."

තවත් ජාත්‍යන්තර කාන්තා දිනයක් සමරන අද දිනයේදී ලොව පුරා ගැහැනුන්ගේ සිහින යථාර්ථයක් වන අවකාශය පිළිබඳ තවමත් විවිධාකාර මතිමතාන්තර තිබේ.

ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳ අතීතය ශතවර්ෂයකටත් වඩා ඈතට දිවයන්නකි. බොහෝ සැමරුම් දිනයන්හි ආරම්භය බටහිර රටවල්වලින් වාර්තා වෙන්නා සේම මෙම දිනයෙහි මූලාරම්භය සටහන් වන්නේද ඇමරිකා එක්‌සත් ජනපදයෙනි. පළමු වරට කාන්තාවන් සඳහා දිනයක්‌ සමරා ඇත්තේ 1908 පෙබරවාරි මස 28 වැනිදා ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරදී ඇමරිකානු සමාජවාදී පක්‌ෂය විසින් බව වාර්තා වේ. ඒ සඳහා මුල් වී ඇත්තේ සන්නාලියන් පිරිසකි. එනම් එම වසරේ අන්තර්ජාතික ඇඳුම් මසන්නියන්ගේ වෘත්තිය සමිතිය විසින් සිදුකරන ලද වැඩවර්ජනයකින් අනතුරුව කාන්තාවන් වෙනුවෙන් එම සැමරීම සිදුකර තිබේ. ඉන්පසු බටහිර යුරෝපානු රටවල් කිහිපයකද විවිධාකාර වූ කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සැමරීම් පැවැත්වූ බවටද වාර්තා වේ.

ඒ අතරින් 1917 මාර්තු මස 8 වැනිදා ආහාර හා සාමය ඉල්ලමින් රුසියාවේ සිදුකළ කාන්තා වැඩවර්ජනය ලෝක ඉතිහාසය වෙනස්‌ කරන්නට සමත් විය. එයට හේතුව රුසියාව පළමු ලෝක යුද්ධයට මැදිහත්වීම නිසා රට තුළ උග්‍ර ආහාර හිඟයක්‌ ඇතිවීමත් සමඟ එය රුසියානු ගෘහණියන් වෙත තදින්ම බලපෑම් කරන්නට සමත්වීමයි. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ඉතා සාර්ථක වූ අතර සෝවියට්‌ සංගමය නිවාඩු දිනයක් ලෙස මාර්තු මස 08 වැනි දින ප්‍රකාශයට පත්කරනු ලැබුවේද කාන්තාවන් විසින් සිදුකළ ආරම්භයට උපහාරයක් ලෙසටය. ඒ අයුරින් විකාශනය වූ කාන්තා දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූයේ 1977 වසරේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම දිනය ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමඟය.

ලෝක ඉතිහාසය තුළ කාන්තාවගේ දායකත්වය පමණක්‌ නොව වර්තමාන කාන්තාවගේ භූමිකාව අගය කරන්නා වූ මෙම දිනය ශ්‍රී ලාංකේය කාන්තාවටද වැදගත් වන්නේ ලොව පළමු අගමැතිනිය බිහිවීමේ සිට එවරස්ට් කඳු මුදුනත ලක් ධජය එසවූ ප්‍රථමයා බවට පත්වූ ජයන්ති කුරුඋතුම්පාලගේ සිට පසුගිය වසරේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී මෙරටට පළමු පදක්කම දිනාදුන් පාරමී වසන්ති දක්වා විවිධ ක්ෂේත්‍රයන්ගෙන් කීර්තිය අත්කර දුන් දියණිවරු රැසක් සිටින නිසාය.

ලෝක කාන්තා දිනයට සමගාමීව මෙවර මෙරට කාන්තා දින තේමාව වන්නේ 'සුහුරු කතක් - සොඳුරු ලොවක්' යන්නය. සොඳුරු ලොවක් නිර්මාණය කිරීම සඳහා දැනුමින් කුසලතාවලින් සහ යහපත් ආකල්පවලින් පිරිපුන් කාර්යක්ෂම කාන්තාවක් නිර්මාණය කිරීම එහි අරමුණයි. එහෙත් ඒ සඳහා අවශ්‍ය සමාජ, සංස්කෘතික සහ ආර්ථික පසුබිම කොතෙක් දුරට සැකසී තිබේද යන්න ඉදිරියේ අදටද ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. කාන්තාව වෙනුවෙන් වූ රාජ්‍ය නොවන සංවිධාන, කාන්තා සංවිධාන කොතෙක් තිබුණද ඒවායින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සඳහා සිදුවන මැදිහත් වීම ප්‍රමාණවත් වේද යන්නද ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය සඳහා වත්මන් කාන්තා දායකත්වය සියයට 36ක් පමණ වුවද කාන්තාවන් බහුතරයක් වේතන, විශ්‍රාම වැටුප් සහ රැකියාවලට සම්බන්ධ ප්‍රතිලාභ නොලබමින් ශ්‍රම වෙළෙඳපොළෙන් පිටත සිට විශාල මෙහෙයක් ඉටුකරයි. කාන්තා ශ්‍රම බලකාය වැඩිකර ගැනීම රටේ ආර්ථික වර්ධනය තිරසාර කරගැනීමට අත්‍යවශ්‍ය දෙයක් වුවත් රැකියා ස්ථානය වෙත අවතීර්ණ වන ශ්‍රී ලාංකේය කාන්තාවෝ අභියෝග රැසකට මුහුණ දෙති. ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස් කොට සැලකීම ගෘහීය ජීවිතයේදී මෙන්ම කාන්තාවන්ගේ වෘත්තීය ජීවිතයටද අහිතකර බලපෑම් සිදුකරයි. පවුල් වගකීම් හේතුවෙන් ශ්‍රම බලකායට අවතීර්ණ වීමට පසුබාන කාන්තාවන්ට නිවසේ සිට නිරත විය හැකි කර්මාන්ත පුළුල් කිරීමත් ඒ සඳහා මූලික ප්‍රාග්ධන අවස්ථා වැඩිකිරීමත් අවශ්‍ය වේ. මවු පදවිය සහ පවුල මුල්කරගෙන තම උසස් රැකියා අතහරින කාන්තාවන්ට එම තත්ත්වයෙන් මිදීම සඳහා විකල්ප අවස්ථා සැලසිය යුතුය. ඇතැම් ආයතන ගැබිනි කාන්තාවන්ට සහ මවුවරුන්ට රැකියා අවස්ථා ලබාදීමට මැළිවීම නිසා උගත් විවාහක කාන්තාවන්ගේ දායකත්වය ශ්‍රම බලකායට අහිමි වේ.

කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය අඩු වීමට තවත් හේතුවක් වන්නේ අනාරක්ෂිත බවයි. මෙරට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ගැහැනු ළමුන්ගෙන් සහ කාන්තාවන්ගෙන් සියයට 90ක් ලිංගික හිංසනයන්ට මුහුණදෙන බවත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්නේ ඔවුන් අතරින් සියයට 4ක් පමණක් බවද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් මෙරට සිදුකරන ලද ජාතික අධ්‍යයනයකින් පසුගියදා හෙළි වී තිබිණ. එමෙන්ම රැකියා ස්ථානයේදී ප්‍රචණ්ඩත්වයට සහ ලිංගික අඩන්තේට්ටම් වැනි දුෂ්කරතාවලට ලක්වීමද කාන්තා ශ්‍රමිකයන් සේවය හැරයෑමට හේතුවකි.

එබැවින් කාන්තාවන් සඳහා නම්‍යශීලී රැකියා කාල පරාස ලබාදීම සහ සුරක්ෂිත ප්‍රවාහන පහසුකම් හා අඩන්තේට්ටම්වලට එරෙහිව තවදුරටත් ප්‍රතිපත්ති හඳුන්වාදීම මඟින් සුරක්ෂිත රැකියා පරිසරයක් ලබාදීම කාන්තා ශ්‍රම බලකාය ඉහළ නැංවීමට හේතුවනු ඇත. ලෝක කාන්තා දිනයට සමගාමීව අද දින සිට කාර්යාල දුම්රිය හතක කාන්තාවන් සඳහා වෙන්වූ දුම්රිය මැදිරි යෙදවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන අතර එය ප්‍රවාහන සේවයේදී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන යම් තරමකට හෝ අඩුවීමට හේතුවක් වනු ඇත.

ඇතැම් විශේෂිත භූමිකා සඳහා කාන්තාවන් අඩුවෙන් සුදුසු යැයි විශ්වාස කෙරෙන්නේ ඔවුන්ද පිරිමින් තරමටම සමාන ලෙස හැකියාවෙන් යුක්ත හා දක්ෂකම් දක්වන අතරවාරයේය. නමුත් ඇතැම් රැකියා සඳහා කාන්තාවන් යොමුවීමට ඔවුන්ගේ පවුල්වල තිබෙන ආකල්පද බාධා කරනු දැකිය හැකිය.

රැකියා වෙළෙඳපොළ විසින් කාන්තාවන්ගේ හා පිරිමින්ගේ කුසලතා අගය කරන ක්‍රමවේදයන්ගේ වෙනස්කම් නිසාද උගත් කාන්තාවෝ ශ්‍රම වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට මැලිවෙති. කාන්තා දායකත්වයට හානිකරන ආයතනික සහ නෛතික ගැටලු සඳහා ප්‍රතිපත්ති සංශෝධනයන් සහ තරුණ කාන්තාවන් රැකියා උපදේශනය වෙත යොමුකිරීම වැනි ක්‍රියාමාර්ගද වැදගත් වන්නේ ඒ නිසාය. එමෙන්ම පවතින රැකියා පුරප්පාඩු පිරවීම කාන්තාවන් ඉලක්ක කරගනිමින් අධ්‍යාපන සහ වෘත්තීය පාඨමාලා සකස් කිරීමද වැදගත් වනු ඇත.

වෙනත් අංශවලට සාපේක්ෂව මෙරට අධ්‍යාපන අංශය තුළ කාන්තා සහභාගීත්වයේ වර්ධනයක් දැකගත හැකිවීම සුබ ලකුණක් සේ සැලකිය හැකිය. විශේෂයෙන් සරසවි වරම් ලබන සිසුවියන්ගේ ප්‍රතිශතයේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර එය අනාගත ශ්‍රී ලංකාවේ කාන්තා සවිබලගැන්වීම සම්බන්ධයෙන් යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නකි. එහෙත් උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථාවන් සඳහා දිගු කාලයක් ගත කරන විට තරුණියන්ට වෙනත් සමාජ ගැටලුවලටද මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයක්ද තිබේ. සුදුසු සහකරුවකු සොයාගැනීමට නොහැකිව විවාහ ප්‍රමාද වීම, සුදුසුකම්වලට සරිලන රැකියාවක් නොලැබීම, වයස්ගත වී විවාහ වීම නිසා දරු සම්පත් ප්‍රමාදවීම හෝ අහිමිවීම වැනි ගැටලුවලට මුහුණ දී සිටින උගත් කාන්තාවන්ද අප සමාජයේ දුලබ නැත. දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට රට පත්කිරීමේ වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ පරමාර්ථය තුළ මෙරට කාන්තා පරපුරට වැදගත් භූමිකාවක් හිමිවනු ඇත යන විශ්වාසය රැකගැනීමට නම් කාන්තා පරපුර සවිබලගැන්වීම වේගවත් විය යුතුය.

එමෙන්ම දේශීය කර්මාන්ත ක්‍ෂේත්‍රය තුළ කාන්තා දායකත්වය වැඩි කිරීමද මෙරට ආර්ථිකයට ඵලදායකය. කාන්තාවක සතු පිළිවෙළ, අපරිමිත ධෛර්යය සහ උත්සාහය අභියෝගාත්මක ව්‍යාපාර ක්‍ෂේත්‍රය ජය ගැනීමට ඇයට නිසැක අත්වැලක් වනු ඇත.

මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් කතාබහට ලක්වන්නේ සෑහෙන කලක සිටය. දේශපාලනය යනු පිරිමින්ට පමණක් අයත් ක්‍ෂේත්‍රයක්‌ ලෙස සිතිය යුතු නැත. ඇතැම් කාරණාවලදී පිරිමින්ට වඩා සංවේදී විය යුතු කාරණා දේශපාලනයේදී හමුවේ. එවැනි කරුණු සඳහා කාන්තා නියෝජනය වැඩිපුර අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස නිවසක ගෘහමූලිකයා පියා වුවත් දරුවන් බොහෝ විට බොහෝ දේවල් ඉල්ලන්නේ මව හරහාය. ලාංකේය සමාජ රටාව තුළ පියා වුවද නිවසේ සහ දරුවන් පිළිබඳ ඇතැම් තීරණ ගන්නේ මවගෙන් අසා සාකච්ඡා කරමිනි. මෙකී න්‍යාය බහුතර පිරිමින් කොටසක්‌ නියෝජනය කරන අපේ රටේ දේශපාලන සංස්‌කෘතියට වලංගු කළ හැකි නම් කාන්තා දේශපාලන නියෝජනය අරුත්බරව භාවිත කළ හැකිය. එමෙන්ම එය දේශපාලන ලෝකය අදට වඩා ශිෂ්ටසම්පන්න කරවීමට හේතුවක් විය හැකිය. කාන්තාව දේශපාලන ක්‍ෂේත්‍රයට පැමිණීම තුළ අද අපේ රටේ බහුලව වාර්තා වන ළමා අපයෝජනය, කාන්තා ප්‍රචණ්‌ඩත්වය, කාන්තා හිංසනය වැනි තත්ත්වයන් පිටුදැකීම සඳහා එවැනි තත්ත්වයන්ට ලක්‌ වූ කාන්තාවන්ට සර්ව සාධාරණය ඉටු කිරීමට මීට වඩා හොඳින් ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසෙනු ඇත. එසේ හිංසනයට පත්වන කාන්තාව අපේ පවතින සමාජ වටපිටාව තුළ සහ නීති පද්ධතිය තුළ බියට පත්ව, පිළිසරණක්‌ පතා ඉදිරියට නොඑන්නේ සමාජයේදී ගැරහුමට සහ නීතිය ඉදිරියේදීද ඇය නිරුවත් වීමට වැඩි ඉඩක් තිබෙන නිසාය. විශේෂයෙන් අපේ රටේ කාන්තා සාක්‍ෂරතාව සියයට අනූනවයක්‌ ලෙස පැවතියද ශ්‍රී ලාංකේය ගැහැනිය තවමත් ගෘහස්ථ හිංසනයට ලක්වනු දැකිය හැකිය. මෙයද වෙනස් විය යුතු තත්ත්වයකි.

ගතින් මෘදු මොළොක් ස්වාභවයක් දැරුවද ගැහැනිය සතු දරාගැනීමේ ශක්තිය සහ ඉවසීම පිරිමියාට වඩා වැඩි බව පිළිගැනේ. එයට දිය හැකි සරල සහ කදිම උදාහරණය වන්නේ උත්තරීතර මාතෘත්වයයි. මාස නවයක්‌ කුස දරා සිට අසීමිත වේදනාවක් විඳිමින් මවක්‌ තවත් ජීවියකුට උපත ලබාදෙන්නේ තම ජීවිතයද පරදුවට තබමිනි. දරුවා කුසේ වැඩෙන කාලයෙහි සිරුර තුළ සිදුවන වෙනස්කම් විටෙක ඇයට ගෙනදෙන්නේ දැඩි වේදනාවකි. ඒ සියල්ල විඳදරා ගනිමින් ඉන්ද්‍රජාලයක්‌ මෙන් නොසැලී ඇය පෙන්වන දරාගැනීමේ ශක්තිය පිරිමියකු තුළ දැකගත නොහැකිය. තමා උපත දෙන දරුවා ලොව කිරුළ දිනනු දැකීම සෑම අම්මා කෙනකුගේම පැතුමයි. හිරුට කලින් අවදිව සියල්ලන්ටම පසු නින්දට යන ගැහැනුකමේ උත්තරීතරම චරිතය වන අම්මා කෙනෙක් සිය ජීවිත කාලය පුරා ඉටුකරන වැඩ කන්දරාවට නමක් දිය නොහැකිය. එය වැටුපකින් තක්සේරු කළ නොහැකි අනගි සේවාවකි. එහෙත් තමන්ගේ ආදරණීයන්ගෙන් ලැබෙන එකම වදනක්, මුදු ස්පර්ශයක්, ආදරණීය සිනහවක් යනු ගැහැනියගේ වෙහෙස නිවන දිව ඔසුවකි. නමුදු තම සැමියාගෙන්, දරුවන්ගෙන් ඇතුළු සමීපතමයන්ගෙන් පවා එවැනි සැනසීමක් නොලබා ජීවිතය විඳවන ගැහැනුන් ගැන කතා කරන්නේ කවුද? ජීවිතයේ විඳවීම් හමුවේ එයින් නිදහසක් පතා උසාවියක් හමුවට යන බොහෝ ගැහැනුන්ට ලැබෙන්නේද අපහාස හා අවමන්ය. එවැනි ගැහැනුන්ගේ ජීවිත වෙනුවෙන් හඬ නඟන්නේ කවුරුන්ද? කුවේනියගේ කාලයේ සිටම ගැහැනිය විඳි එවැනි දුක් වේදනාවන් තවත් කාලාන්තරයක් පවතිනු ඇත. ඒවා වෙනස් වන්නට නම් සමාජයේ ආකල්පමය වෙනසක් අවැසිය. එය තම පවුල තුළින්ම පටන් ගැනීමද වත්මන් කාන්තාව සතු වගකීමකි.

පිරිමියා හා සම තැන ඉල්ලීමට හෝ පිරිමියා අභිභවා යෑමට කාන්තාවන් පොලඹවන ඇතැම් කාන්තා විමුක්තිකාමී සංවිධාන ලාංකේය කාන්තාව ගැන අලුත් කියැවීමක් කළ යුතු යැයි හැඟෙන්නේ මෙවැනි පරිසරයක් තුළය. එසේ නොමැතිව තම සංවිධානවල න්‍යායපත්‍රයන් ඉටුකර ගැනීමේ අරමුණින් කලහකාරී ලෙස හැසිරෙමින් තම අයිතීන් දිනාගැනීමට කාන්තාවන් මහමඟට කැඳවීම සාධාරණ නොවේ.

ලොව බිහිවූ දා සිටම ලොව පවතින තාක් ගැහැනු සහ පිරිමි සමාන නොවේ. වෙනකක් තබා ගැහැනියක් තවත් ගැහැනියකටද සමාන නොවේ. සෑම පුද්ගලයකුටම තමාටම ආවේණික වූ පෞද්ගලිකත්වයක් තිබේ. ඒ තුළ ඔවුනොවුන්ට සුවිශේෂී වූ හැකියාවන්, කුසලතාවන් මෙන්ම දුර්වලතාද තිබේ. එබැවින් ගැහැනු පිරිමි කවුරුත් කළ යුත්තේ එක් එක් අයට සුවිශේෂී වූ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගනිමින් නව ලොවට ගැළපෙන ලෙස තම පුද්ගල චරිතය ගොඩනඟා ගැනීමයි. ඒ තුළින් ලොව 'නිසි තැන' නිරායාසයෙන්ම තමා වෙත හිමිවනු ඇත.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

ඡායා [සුදම් ගුණසිංහ]

 

මාතෘකා