මත්ද්‍රව්‍ය විරෝධී නව පියවර ජනපති හෙළි කරයි

 ඡායාරූපය:

මත්ද්‍රව්‍ය විරෝධී නව පියවර ජනපති හෙළි කරයි

මතට එරෙහිව රටම දිවුරුම් දෙන බක්මහ දිවුරුම අප්‍රේල් 03 වනදා 

ඒ නිමිත්තෙන් පැවැත්වෙන කෙටි උත්සවයට පාර්ලිමේන්තුව නියෝජනය කර පක්ෂ නායකයන් ඇතුළු 225 ට ම ජනපතිගෙන් ආරාධනා 

මෙතෙක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රේල් 01 වනදා කටුනායක දී

මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමට භාවිතා කරන අතිනවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට කඩිනමින් 

ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට කියයි.

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම මෙන්ම රටේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමට සියලු පුරවැසියන් සිය හෘද සාක්ෂිය අනුවම කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ පිළිබඳ සිහිපත් කරමින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවට රටම එක්ව සිදුකරන දිවුරුම් දීමක් අප්‍රේල් 03 වැනිදා  පෙ.ව 8.00ට 'බක්මහ දිවුරුම' නමින් සංවිධානය කර තිබේ. උදෑසන රැස්වීමේදී සියලු පාසල් දරුවන් ඊට එක් කරගන්නා අතර, විශ්වවිද්‍යාල සිසුන්, ව්‍යවස්ථාපිත ආයතන, සංස්ථා ඇතුළු සියලු රාජ්‍ය නිලධාරින්, පෞද්ගලික අංශය ඇතුළු සියලුදෙනාට ඒ සඳහා විවෘත ආරාධනයක් සිදු කරන බව පැවසූ ජනාධිපතිවරයා අප්‍රේල් 03 වැනිදා උදෑසන 8.00ට කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණ එම දිවුරුමී දීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ පක්ෂ නායකයන්ට ආරාධනා කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථවේදීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් මේ වන විට ගෙන යන වැඩසටහන්වල සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවයි. කිසිදු බලපෑමකින් තොරව එම කටයුතු කරගෙන යෑමට නිලධාරින්ට අවස්ථාව සැලසී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට එරෙහි නීතිරීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට කිසිඳු බලපෑමක් අද සිදු නොවන බවද සඳහන් කළේය. මේ අතර මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රේල් 01 වැනිදා විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරින් ඉදිරියේදී කටුනායකදී සිදු කෙරෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ අතර ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ නීති විරෝධි මත්ද්‍රව්‍ය හඳුනාගැනීම පිළිබඳ භාවිත කරන නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මේ වන විට මිල ගණන් කැඳවා තිබෙන බවත්, තවත් මාස කිහිපයකින් එම උපකරණ මෙරටට ලබා ගැනීමට හැකි වනු ඇති බවත්ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳ නැඟු ප්‍රශ්නයකට පිළිතුර දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ අනිවාර්යයෙන්ම එම තීන්දුව ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි. ඊට විරෝධතා දක්වන කිසිවෙකු මත්ද්‍රව්‍ය උවදුරෙන් රටට සිදුවන විනාශය වළක්වා ගැනීමට සහය ලබා නොදෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කවුරුන් විරුද්ධ වුවද රටේත්, ජනතාවගේත් අනාගතය වෙනුවෙන් එම වගකීම ඉටුකරන බව අවධාරණය කළේය.