18  ඒකාධිපතියි 19 කුමන්ත්‍රණකාරීයි ජනපති කියයි

 ඡායාරූපය:

18  ඒකාධිපතියි 19 කුමන්ත්‍රණකාරීයි ජනපති කියයි

18 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ඒකාධිපති රාජාණ්ඩුවක් නිර්මාණය කරන ව්‍යවස්ථාවක් බවත් 19 වැනි සංශෝධනය දේශපාලන කුමන්ත්‍රණයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මන්දිරයේ ඊයේ (26) පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මරණ දඬුවම ලබා දීමට අදාළ ලිපියට තමන් අත්සන් කළ බවත් ඒ අනුව 4දෙනකුට මරණ දඬුවම හිමිවන බවත් ජනපතිවරයා පැවසීය. ඒ සිව්දෙනාම මත් ජාවාරමේ ප්‍රබලයින් බවද හෙතෙම පෙන්වා දුන්නේය.‍

19 වැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුව බහුතර ඡන්දය ලබාදී සම්මත කළ බවත් කිසිවකුට එම වරදින් අත සෝදාගත නොහැකි බවත් පැවසූ ජනාධිපතිවරයා 19 වැනි සංශෝධනයේ පැවති අඩුපාඩු නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යන්නට සිදු වූ බවත් එම සංශෝධනයේ තිබූ බොහෝ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් කියා සිටියේය.

එම ව්‍යවස්ථාවෙන් නායකයින් දෙදෙනකු නිර්මාණය කළ බවත් අලුත් ආණ්ඩුවක් පත්වෙන්නට පෙර හෝ අලුත් ආණ්ඩුවක් ආ සැණින් 19 අහෝසි කළයුතු බව කී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දැනට 18 අහෝසි බැවින් 19 අහෝසි වූ විට 18ට පෙර තිබූ තත්ත්වයට පත්වන බවයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“පාස්කු ඉරිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කියන්නේ දේශපාලන නාට්‍යයක්. මේ නාට්‍ය පුහුණු වෙනවා අරලියගහ මන්දිරයේ හවසට. නාට්‍ය පෙන්වනවා උදේට පාර්ලිමේන්තුවේදී. අනෙක් එක තේරීම් කාරක සභාවෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා අද වෙනකල් කියලා නෑ. අප්‍රේල් 21 සිදුවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 7ක් තිබෙනවා. මමත් වගඋත්තරකරු කරලා තිබෙනවා නඩු දෙකක. නඩු 7 විභාගයට ගන්නවා ජූලි 17 වැනිදා. ඒක 7 දෙනකුගේ යුත් විනිශ්චය මණ්ඩලයක්. ශ්‍රේෂ්ඨාධිකරණය දින තීන්දු කරලා තිබෙනවා. මම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ප්‍රධානියා කරලා පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබෙනවා. මේ සම්බන්ධ වාර්තා තුන මම නීතිපතිට දුන්නා. මලල්ගොඩ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවා. නීතිපති ලිඛිතව දැන්වුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවලට තේරීම් කාරක සභාව බරපතළ ගැටලුවක් බව, මලල්ගොඩ වාර්තා කිසිසේත්ම පාර්ලිමේන්තුවට දෙන්න එපා කියලත් දැන්වුවා. මම සදාචාරාත්මකව පාර්ලිමේන්තුවට දැන්වුවා අප්‍රේල් 21 සිදුවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 7ක් විභාග කිරීමට තිබියදී රටේ ඉන්න අපරාධකාරයන්ට බුද්ධි අංශ ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් පෙන්වීම සුදුසු නෑ කියලා. අපිට එවපු ලිපිය අපි යැව්වා. ඒ කිසි දෙයක් සලකන්නේ නැතිව තමයි තේරීම් කාරක සභාව යන්නේ. තේරීම් කාරක සභාව දේශපාලන අරමුණක්.

“19 තුළ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය, 19 හදපු විදිහ කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනපතිවරයාගේ බලතල සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට ගන්න. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕන සංශෝධනයක්. එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනයේ බොහෝ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳව පාර්ලිමේන්තු තුනෙන් දෙකක බලයෙන් කළ හැකි දේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නා. ඒ තුළ 19 කෙටුම්පත් කළ අය බලාපොරොත්තු වුණ දේ සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. 19 කෙටුම්පත් කරපු අය නීති විශාරදයින්ද එහෙම නැන්තම් දේශපාලන මකබාස්ලද කියන එකයි මට තිබෙන ප්‍රශ්නය. ඒ තරම්ම 19 අසාර්ථකයි.

ජනපතිවරයාට බලතල කොටසක් ඉතිරි වුණා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. අගමැති හා පාර්ලිමේන්තුවට තවත් කොටසක් ගියා ස්වාධීන කොමිෂන් සභාත් එක්ක. කොමිෂන් සභාවලිනුත් අද වන විට බලාපොරොත්තු වුණු දේ සිදුවෙලා නෑ. ස්වාධීන කොමිෂන් සභා ගැන රෙගුලාසි සම්මත වී නෑ. ඒක නිසා තමයි මානව හිමිකම් කොමිෂන් සභාව අපිට වාර්තා කරන්නේ නැතිව ජිනීවාවලට වාර්තා කළේ.

මේ වසර අවසානයේදී නව ජනපතිවරයෙක් පත්වෙලා මාස දෙකක් යනකොට මහමැතිවරණයක් එනවා ස්ථිරවම. ඒ එන අලුත් ආණ්ඩුවට රට කරදරයක් නැතිව රට කරගෙන යන්න ඉදිරි ජනපතිවරණයට කලින් 19 අහෝසි කරනවා නම් හොඳයි. මේ ආණ්ඩුවෙන්ම කරනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් සම්බන්ධන් මහත්තයත් ජනතා විමුක්ති පෙරමුණටත් එක මතයකට එන්න පුළුවන් නම් 2020 රටට සුබවාදී අවුරුද්දක්. නැත්නම් රට තවත් වැටෙනවා.

[දිනුක මලින්ද හේරත්]