කුවේට්හි වැටුප් නොමැතිව රැදි සිටි ශ්‍රමිකයින් 35ක් දිවයිනට

 ඡායාරූපය:

කුවේට්හි වැටුප් නොමැතිව රැදි සිටි ශ්‍රමිකයින් 35ක් දිවයිනට

කුවේට්හි රියදුරු රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්‍රතිලාභ හිමි නොවූ ශ්‍රමිකයින් 35ක් ඊයේ (25) උදෑසන දිවයිනට ගෙන්වා ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

 

මෙම ශ්‍රමිකයින් කුවේට්හි රියදුරු සේවය සදහා ගිය පසු තමන් මෙරටදී ගිවිසගත් සේවා ගිවිසුමේ පරිදි නිසි වැටුප් හා පොරොන්දු වූ පරිදි සේවා වරප්‍රසාද නොලැබෙන බව සඳහන් කරමින් තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර ඇත. මේ පිළිබඳව විදේශ රැකියා අමාත්‍යවරයාටද තොරතුරු වාර්තා වී තිබූ අතර ඔහු විසින් මෙම ශ්‍රමිකයින් පිළිබඳව පෞද්ගලිකව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

 

එහි ප්‍රතිඵලයක් ලෙස මැයි 18 වැනිදා ශ්‍රමිකයින් සිව් දෙනෙකු දිවයිනට පැමිණි අතර දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අනෙක් පිරිස ඊයේ (25) දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ. මෙම ශ්‍රමිකයින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නිසි පරිදි විදේශ ගතවීම හේතුවෙන් ඔවුන් පිළිබඳව සොයා බැලීම සඳහා තානාපති කාර්යාලයට හැකිවිය. එහෙයින් රැකියා සඳහා විදේශ ගතවන සියලුම ශ්‍රමිකයින් සිය ආරක්ෂාව වෙනුවෙන් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ ගතවන මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.