ඉස්ලාම් රටවල් 17ක තානාපතිවරු සමඟ පාර්ලිමේන්තුවේ විශේෂ හමුවක්

 ඡායාරූපය:

ඉස්ලාම් රටවල් 17ක තානාපතිවරු සමඟ පාර්ලිමේන්තුවේ විශේෂ හමුවක්

ලෝකයේ ඉස්ලාම් රටවල් 17ක තානාපතිවරු කතානායකවරයා සමඟ වි‍ශේෂ හමුවක් සඳහා පසුගියදා (11) පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියහ. ත්‍රස්තවාදය කෙටිකලක් තුළ මුළුමනින්ම පාහේ අකර්මන්‍ය කර ආරක්ෂාව තහවුරු කළ ලෙසටම ශ්‍රී ලංකාව සියලුම අන්තවාදයන් පිටුදැක නොබෝ දිනකින්ම යළි සමඟි සම්පන්න ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනු ඇතැයි කතානායකවරයා මෙම තානාපතිවරු හමුවේ කියා සිටියේය.

පාර්ලිමේන්තුව අදාළ ආංශික කාරකසභා සහ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් ත්‍රස්තවාදය හා ඊට අවශ්‍ය පෝෂණය ලබා දෙන අන්තවාදය පිටුදැකීමට පැහැදිලි නීති සම්පාදනය කරමින් සිටින බවත් එක රටත් තුළ එක් නීතියක් යටතේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට ඉන් පදනම සැලසෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් කතානායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

 

ආගමට මුවා වී සිදුකරන අන්තවාදී ක්‍රියාවලියත්, ළමා විවාහ, බහු විවාහ මෙන්ම අන්‍යතාවය වසන් කරන විලාසිතා සහ අන්තවාදය පෝෂණය කරන අධ්‍යාපන ආයතන සම්බන්ධව පියවර ගැනීමේදී ඉස්ලාම් නායකයන් මෙන්ම සාමකාමී බහුතර ඉස්ලාම් ජනතාවගෙන් ලැබුණ සහය හා මඟ පෙන්වීම කෘතවේදීව සිහිපත් කරන බවද කතානායකවරයා එහිදී කියා සිටියේය.

 

ශ්‍රී ලංකාව තුළ කවර ජාති ආගම් ජීවත් වුවද සියල්ලන්ටම බලපාන පොදු නීතියක් ක්‍රීයාත්මක කිරීමේ අවශ්‍යතාවය තමන්ද අවිවාදයෙන් පිළිගන්නා බව එහිදී ඉස්ලාම් රටවල තානාපතිවරු පැවසූහ. එමෙන්ම මද්‍රසා පාසල් සහ ආගමික අධ්‍යාපන ආයතන රජයේ අධීක්ෂණය යටතට පත්වීමද වැදගත් අවශ්‍යතාවයක් බව එම තානාපතිවරු සඳහන් කළහ. වෛරී කථනය හා සමාජ මාධ්‍ය මඟින් පතුරවන වෛරී අදහස් පාලනයට පියවර ගැනීමේ වැදගත්කමද එහිදී ඔවුහු පෙන්වා දුන්හ. කතානායකවරයා සමඟ මෙම හමුවට එක් වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආංශික කාරක සභා සභාපතිවරුන් වන මයන්ත දිසානායනක, මලික් ජයතිලක යන මන්ත්‍රීවරු කරුණු පැහැදිලි කළහ.

 

මෙම හමුව සදහා ඇෆ්ගනිස්ථානය, බංලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරානය,  ඉරාකය, ලිබියාව, කුවේට්, මැලේසියාව, ඕමානය, පකිස්තානය, පලස්තීනය, කටාර්, සෞදිආරාබිය, තුර්කිය යන රටවල් නියෝජනය කරමින් තානාපති නිළධාරීහු එක්ව සිටියහ.