මහනුවර ඇසළ පෙරහැර අගෝස්තු 02 වැනිදා කප් සිටුවීමෙන් ඇරඹේ

 ඡායාරූපය:

මහනුවර ඇසළ පෙරහැර අගෝස්තු 02 වැනිදා කප් සිටුවීමෙන් ඇරඹේ

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මෙවරත් රාජ්‍ය අනුග්‍රහය මත අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මහතා පවසයි.

 

2019 අගෝස්තු 02 වැනිදා පෙරවරු 5.10ට යෙදෙන සුභ මොහොතින් කප් සිටුවීමෙන් ආරම්භ කෙරෙන පෙරහැර මංගල්‍යය අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව නිමාවට පත් කරන බවද දියවඩන නිලමේවරයා වැඩිදුරටත් පවසයි. දියවඩන නිලමේවරයා මෙම අදහස් පළ කරන ලදදේ පසුගියදා මහනුවර දළදා මාලිගාවේ පැවති පෙරහැර සංවිධාන විශේෂ රැස්වීමකදීය.
 

ඒ අනුව ප්‍රථම කුඹල් පෙරහැර අගෝස්තු 05 වැනිදා ආරම්භ වී අගෝස්තු 09 වැනිදා දක්වා පුරා දින 05ක කාලයක් පැවැත්වේ. අගෝස්තු 10 වැනිදා ආරම්භ කෙරෙන රන්දෝලි පෙරහැර 14 වැනිදා දක්වා වීදි සංචාරය කිරීමට නියමිත අතර අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන දහවල් පෙරහැරත් සමඟ පෙරහැර අවසන් වීමට නියමිතය. පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ ක්‍රියාත්මක ආරක්ෂක සැලසුම් පිළිබඳවද එහිදී අවධානය යොමු කළ අතර මහනුවර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා විසින් ආරක්ෂක සැලැස්ම පැහැදිලි කරන ලදී. මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී රණේපුර මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහ සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.