වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවයක අබ්දුල්ලා යළි රිමාන්ඩ්

 ඡායාරූපය:

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවයක අබ්දුල්ලා යළි රිමාන්ඩ්

පසුගිය 21 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නමැති සැකකරු ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකරුවන් ඇතුළු සැකකරුවන් 10 අධිකරණය හමුවේ පෙනී සිටයේය.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නමැති සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු අධිකරණය වෙත ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය.  එහෙත් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අනුකූලතාවයක් නොදැක්වූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය. ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම සැකකරුවන් අදාළ තඹ කම්හලේ හිමිකරු වන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරු සමඟ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙළි වී තිබුණත් ඔවුන් මෙම අපරාධයට දායක වී තිබේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය.  ඒ අනුව නැවත පැමිණිල්ල ලබන 24 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශයට දන්වා සිටියේය.

 


ජනප්‍රිය ලිපි