කථානායක කරූ ජයසූරිය මහතාගේ රාමසාන් දින පණිවිඩය

 ඡායාරූපය:

කථානායක කරූ ජයසූරිය මහතාගේ රාමසාන් දින පණිවිඩය

ලෝකයේ කවර ආගමක් වුවද යම්කිසි දේශයක පවතින්නේ නම් එය එම භූමි ‍ප්‍රදේශයට අනන්‍යනය වූ සංස්කෘතියට සමපාත වියයුතුය. යම් දේශයක ස්ථාපිත සංස්කෘතියට පටහැනි ආගමික දර්ශනයකට කිසිවිටකත් එම භූමිය තුළ ස්ථිර පැවැත්මක් හිමි නොවේ. ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් මෙම යථාර්ථය මැනවින් වටහා ගනිමින් සියවස් ගණනාවක් පුරා දේශිය සංස්කෘතියට අනුගත වෙමින් ‍එහි ගෞරවනීය කොටස්කරුවන් වෙමින් ස්වකීය ආගමික චාරිත්‍ර සැමරුහ.

විශේෂයෙන්ම රාමසාන් සැමරුමේදී සෙසු ආගමික බැතිමතුන් සමඟ එක්ව ඔවුනටද සංග්‍රහ සත්කාර කරමින් සහෝදරත්වය ගොඩනගා‍ ගැනීමට ඔවුහු කටයුතු කළහ. පුරා මාසයක් පැවැත්වෙන රාමසාන් උපවාසය යනු දිළිඳු සහ අසරණ මිනිසුන් වෙනුවෙන් තමන් තුළ පවතින මානව දායාව පිරි හැඟීම මෙන්ම දෙවියන් කෙරෙහි වූ අසීමිත භක්තියද ප්‍රකට කරවීමකි.

මිනිසුන් සහෝදරත්වයෙන්, මනුෂ්‍යත්වයෙන් එකට බැඳ තබන ඉස්ලාමයේ දාර්ශනික පදනම මේ තුළ විද්‍යාමාන වේ. මිනිසුන් අතර සමගිය, මෛත්‍රීය මෙන්ම අනෝන්‍ය උපකාරය මානව සංහතියේ පැවැත්මට අත්‍යාවශ්‍ය බව ලෝකයේ සෑම ආගමකම මෙන්ම ඉස්ලාමයේද දක්වා ඇති බව රාමසාන් උපවාසයේ අරමුණු තුළින් පැහැදිලි වේ. එබැවින් ඉස්ලාම් ආගමේ සැබෑ හරයට එරෙහිව ගිය අන්තවාදී සුළුතර පිරිසකට අප දේශය තුළ කිසි ලෙසකින්වත් ස්ථාපිත විය නොහැකි බවත්, ඔවුනට කිසිදු ආකාරයකින් එම සහෝදරත්වයේ බැඳීම බිඳදැමිය නොහැකි බවත්, මෙම රාමසාන් සැමරුමේදී සඳහන් කරන්නේ සාමය වෙනුවෙන් කැපවන අති මහත් බහුතර සහෝදර මුස්ලිම් ජනතාවට කරන ගෞරවයක් වශයෙනි.

මෙවර රාමසාන් උත්සවය සමස්ථ ශ්‍රී ලංකාවාසී සහෝදර මුස්ලිම් බැතිමතුන්ට ඉස්ලාම් දහමේ උතුම් හර පද්ධතීන්ට සමීප වන බැතිබර ආගමික සංස්කෘතික මංගල්‍යක් වේවා යැ’යි පතමි.